පොලිස් බලතල බෙදන ලෙස TNA මන්ත්‍රීවරුන් ඉල්ලයි

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල බෙදීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින(09) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී ඇමැතිවරයා පොලිස් බලතල ඉල්ලා සිටීමට හේතූන් විමසා ඇත.

එහිදී දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ලෝකයේ අනෙකුත් රටවල් උදාහරණයට ගනිමින් බලය බෙදීමේ අවශ්‍යතාව පැහැදිලි කර ඇති අතර, දෙමළ ජාතිකයන් මුහුණදෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන්වී තිබේ.

පොලිස් බලතල නොබෙදා එම ගැටලු විසඳීමේ හැකියාව පිළිබඳව ඇමැතිවරයා විසින් අවධානය යොමුකර ඇත.

මෑත කාලයේ එංගලන්තය සහ ඉන්දියාව වැනි දියුණු රටවල් වල පවා බලය බෙදීම ඉතා විශිෂ්ඨ අයුරින් සිදු වූ බව පෙන්වාදුන් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු එහිදී භාවිත කරන ක්‍රමවේදයන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකි බව පැහැදිලි කර තිබේ.

එහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ එංගලන්තය සහ ශ්‍රී ලංකාවෙහි දේශපාලන, සාමාජීයීය සහ සංස්කෘතික තත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් බවයි.

දෙමළ ජනතාවට සහ දෙමළ දේශපාලන නායකයන්ට දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කුමක්ද යන්න මහජන ආරක්ෂක ඇමැතිවරයා මෙහිදී ප්‍රශ්න කර ඇත.

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය වන්නේ, දිස්ත්‍රික් කමිටු මගින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා දුර බැහැර ගෙවාගෙන කොළඹට පැමිණෙන්නට සිදුවීම හා ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මකවීමේ ගැටළුවක් තිබීම නිසා යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එහිදී පවසා ඇත.

එසේම පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් යෝජිත කරුණු වලට අලුතින් කිසිවක් එක් නොවෙන නමුත් ජාතික පොලිස් කොමිසමට අමතරව පළාත් පොලිස් කොමිසමත් පත් කිරීමේ අවශ්‍යතාවයක් මතුවන බව ද ඔවුහු මෙහිදී පෙන්වාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *