තම දියණියට ලිංගික අපයෝජනය කළ බවට වරදකරු වූ පියෙකුට බරපතළ වැඩ සහිත වසර දහය බැගින් වසර විස්සක සිර දඬුවමක් නියම කර ඇත.
එසේ ම, රුපියල් හතළිස් දහසක දඩ මුදලක් සහ 15 හැවිරිදි මෙම දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද නියම කළේ ය.
මෙම පුද්ගලයා පිටිගල පොලිස් වසමට අයත් පොරවගම, යොන්ගලවත්ත පදිංචිව සිටි රණේපුර හේවගේ සුසන්ත නමැති අයෙකි.
2013 වසරේ ජනවාරි මාසයක කාලයක් තුළදී කිහිප වතාවක් ම මෙම දැරිය අපයෝජනයට ලක් වී තිබෙනුයේ මව විදේශගත වී පියාගේ රැකවරණය යටතේ සිටියදී ය.
මේ අනුව, වැරදිකරු වූ පියාට චෝදනා දෙකක් යටතේ එක චෝදනාවකට වසර දහය බැගින් වසර විස්සක සිර දඬුවම් නියම කෙරිණි.
ඊට අමතරව රුපියල් විසි දහස බැගින් රුපියල් හතළිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස ත්, එය නොගෙවන්නේ නම් මාස හය බැගින් ලිහිල් සිරදඬුවම් දෙකක් ද නියම කළේ ය.
අතවරයට ලක්වූ අයට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස ත්, එය නොගෙවන්නේ නම් තව ත් මාස හයක ලිහිල් සිරදඬුවමක් ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ ය.


