රටේ අනාගත සංවර්ධනයට විපක්ෂයේ සහ සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීම ජනපති පැහැදිලි කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේ ය.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේ ය.

විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකට ම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට, වඩා ත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළේ ය.

විශ්වාසවන්තව සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළේ ය.

රටේ සංවර්ධනය රඳා පවතින්නේ මෙම නව ප්‍රවේශය අනුගමනය කිරීම දිරිගන්වමින් නැවුම් දිශානතියක් සඳහා ගනු ලබන ඒකාබද්ධ උත්සහයන් මත බව ද ඔහු පැවසීය.

එමෙන් ම ඔහු සියලු ම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ පුද්ගලික වාද විවාදවලින් වැළකී රටේ අනාගතය පිළිබඳ අවධානය යොමු කරන ලෙස ය. රටේ දිගුකාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන තීරණ සහයෝගීව ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අවංක එකමුතුවක් අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මේ රටේ උත්තරීතර නීතිය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එය නොසලකා සිටීමට හැකියාවක් නොමැති අතර එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බව පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළේ ය.

තව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සහ බලය බෙදීම පිළිබඳ සිය යෝජනා සහ ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනාධිපතිවරයා එම යෝජනා ගැඹුරින් විමසා බලන ලෙස ත්, ඒ වෙනුවෙන් සිය යෝජනා ඉදිරිපත් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර එම සියලු අදහස් සැලකිල්ලට ගෙන පළාත් සභාවල කාර්යභාරය සහ ඒවායේ අනාගතය පිළිබඳව අවසන් තීරණයකට එළැඹීමේ වගකීම පාර්ලිමේන්තුවට හිමිවන බව ද කියා සිටියේ ය.

සියලු දෙනාට ම එකඟවිය හැකි විසඳුමකට එළැඹීමෙන් ජාතික අනන්‍යතාව ආරක්ෂා කරගෙන එකම ජාතියක් ලෙස නැගී සිටීමටත්, රටේ බලය මහ ජනතාව වෙත සමීපවන ආකාරයට විමධ්‍යගත කිරීමටත් අවස්ථාව සැලසෙන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් සභා ස්ථාපනය කර ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වලට පමණක් නොව පළාත් නවයට ම අදාළ වන අයුරින් බව ද කියා සිටියේ ය.

එමෙන් ම, පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය කර හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව එකඟවන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට සූදානම් බව ත්, දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා සඳහා තරග කිරීමේ අයිතිය ලබාදීම, කාන්තා නියෝජනය 25%ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම යන යෝජිත කරුණු පිළිබඳ සාකච්ඡා කර එකඟතාවක් ලබාගෙන පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *