අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් හැටන්හි පිහිටි නිවෙසකට කඩාවැදුණු දිඹුලපතන පොලිසියේ කොස්තාපල්වරයකු හැටන් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 28 වැනිදා මේ නිලධාරියා නිවෙස් හිමිකාරියගේ දියණිය අධ්‍යාපනය ලබන පාසල අසලට ගොස් ඇය මුණ ගැසී ඇති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
ඇය 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දැරිවියක් බව පොලිසිය කියයි. එහිදී ඇයට ඔහු දැනුම්දී ඇත්තේ විමර්ශනයකට නුවරඑළිය විශේෂ විර්ශන අංශයට පැමිණෙන ලෙසයි. එහිදී ඇයට එම නියෝගය සඳහන් බව කියන දුරකතන පණිවිඩයක පිටපතක් ද ඔහු විසින් දී ඇත.
අනතුරුව ඔහු දිගින් දිගටම ඇයට දුරකතන ඇමතුම්දී ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස පෙනී සිට ඔහු හැටන් නිවෙසට පැමිණ ඇත්තේ ඇගෙන් කටඋත්තරයක් ගැනීමට ඇතැයි පවසමින් බවත් පොලිසිය කියයි. එහිදී ඔහු ඇයට පවසා ඇත්තේ තමා පැමිණෙන බව කිසිවකුටත් නොපවසන ලෙසයි.
ඇය මේ ගැන මවට දැනුම්දී ඇය මඟින් පොලිසියට දැනුම්දී සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.


