ජනශක්ති සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් අබිරහස් ලෙස මිය යාමේ සිද්ධිය හෙළිදරව් කර ගැනීම සඳහා පොලිස් භාරයට ගෙන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යවා ඇති භාණ්ඩ හතරක වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය ඊයේ (ජූලි 25) රජයේ රස පරීක්ෂකවරයාට නොතීසි නිකුත් කළා ය.
මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන සඳහා එම භාණ්ඩවල වාර්තා ලබා ගැනීම අත්‍යවශ්‍යව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාට නියෝගයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එසේ නියෝග කළා ය.
මෙම නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරිණි.
අධිකරණ නියෝගයක් අනුව ගොඩගත් ෂාෆ්ටර්ගේ දේහය මේ වන විට කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර අධිකරණය මගින් පත් කරන ලද පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවක් මගින් ඊට අදාළ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත ය.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද සිය දිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු තහවුරු කර ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශනය සිදු කරයි.
මෙම නඩුව අගෝස්තු මස 8 දින නැවත කැඳවීමට නියමිත ය.


