ඩෙංගු වලින් ආරක්ෂා වීමට අමතර ඇඳුමක් ඇදීමට බස්නාහිර පළාත් පාසල් සිසුන්ට අවසර…

මේ දින වල සීඝ්‍රයෙන් පැතිරී යන ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අද සිට අවසර හිමිවෙයි. 

මේ අතර, දිවයිනේ සෙසු පළාත්වලත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ. 

ඒ, ඩෙංගු සහ කොරෝනා මර්දනයට පත් කළ විශේෂඥ කමිටුවේදී ය.

එම කමිටුවේ ලේකම් බුද්ධිකා ගමගේ මහත්මිය පැවසුවේ, අදාළ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් ඇති බවයි.

ප්‍රධාන කමිටුව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙයි. 

සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු විශේෂඥයින් පිරිසක් කමිටුවේ සෙසු සාමාජිකයින් ය.

මේ අතර, බස්නාහිර පළාතෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 22,881 කි.

එය ප්‍රතිශතයක් ලෙස 49.9% ක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ ය.

බස්නාහිර පළාතෙන් පසු මහනුවර, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ද, ඩෙංගු රෝගීන් වැඩිවශයෙන් වාර්තා වන බව, එම ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *