කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට ආසන්න පිරිසකට උණ රෝගය වැළඳී ඇති බව එම විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග ලක්ෂණවලින් පෙළෙන බව සඳහන් වේ.
උණ රෝගය වැලඳුණු හතළිහකට ආසන්න පිරිසක් නිවෙස්වලට පිටත්කර ඇති බව ත්, අනෙක් පිරිස නේවාසිකාගාරවල රැඳී සිටින බවත් සඳහන් වේ.
රෝගීන්ට ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පහසුකම් සහ ආහාර පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති බව ද විද්‍යාපීඨ ආරංචි මාර්ග සඳහන් කරයි.
පෙරේදා (මැයි 23) උදේ ආහාරයට පරිප්පු සමග බත්, දිවා ආහාරයට පරිප්පු බෝංචි සමග බත්, රාත්‍රි ආහාරයට කිරිකොස්, හාල්මැස්සන් කරවල සමග බත් ද ලබා දී ඇති බව ත් පෝෂ්‍යදායී ආහාර නොමැති බැවින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිශක්තිය හීනවෙමින් පවතින බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබා දී ඇති ප්‍රතිපාදන අනුව එදින රාත්‍රි ආහාරයට වෙන්කර තිබුණේ බත් සමග හාල්මැස්සන් කරවල පමණක් බව ත්, ගුරු ශිෂ්‍යයන් පිරිසක් විද්‍යා පීඨයේ කොස්ගස්වලට නැග කොස් ගෙඩි 15ක් පමණ කඩා කිරිකොස් වෑංජනයක් පිළියෙල කරගත් බව ත් සඳහන් වේ.
රෝගීන් වෙනුවෙන් එක් වෛද්‍ය ප්‍රතිකාර කාමරයක් ස්ථාපනය කර ඇති අතර එහි වෛද්‍ය සහායිකාවන් දෙදෙනාගේ සේවය ප්‍රමාණවත් නොවන බව ද පැවසේ.
රෝගීන් රෝහල් කරා රැගෙන යාමට විද්‍යා පීඨයෙන් ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන බව ත්, ආර්ථික අපහසුතා ඇති අයවලුන් මුදල් නොමැතිව දැඩි අපහසුතාවකට ලක්ව ඇති බව ත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
හැකියාවක් ඇති අයවලුන් කළුතර නාගස්හන්දියේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්නා බව ත්, සෙසු පිරිස දැඩි අසීරුතාවකට ලක්ව ඇති බව ත් සඳහන් වේ.
විද්‍යාපීඨය තුළ නේවාසිකාගාර දාහතරක් ඇති බව ත්, ඉන් දෙකක් මුළුමනින් ම නිරෝධායනය කර ඇති බව ත්, අනෙක් නේවාසිකාගාරවල රෝගී ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර, නිරෝගී අය ද සිටින බැවින් රෝගය බෝවීමේ අවදානමක් පවතින බව ද සඳහන් වේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ පීඨාධිපති ඒ.ජේ. එස්. බස්නාගොඩ මහතා මෙසේ පැවසීය.
“සිසුන් 25ක් පමණ ඊයේ නිවෙස්වලට පිටත්කර යැව්වා. අද දිනයේ තවත් 30ක් පමණ රෝහලට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විද්‍යා පීඨය සතු එක ම වෑන් රථය කාර්මික දෝෂයකට ලක් වෙලා. ළමයින්ට ප්‍රවාහන පහසුකම් දෙන්න විදිහක් නෑ. එක් අයෙකු වෙනුවෙන් ආහාරයට රජය වෙන් කරන්නේ දිනකට රුපියල් 53යි. ඒ මුදලට අනුව තමයි ආහාර ලබා දෙන්න වෙලා තියෙන්නේ. මේ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ අමාත්‍යාංශය දැනුවත් කළා.”


