නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි, මත්පැන් හා වාහන අමතර කොටස් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම නීති විරෝධී ආනයනික භාණ්ඩවල සමස්ත වටිනාකම රුපියල් කෝටි 18කට අධික බව රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මාධ්‍යට පැවසීය.
ඇඳුම් වේළන මැෂින් එකක සඟවා නීත්‍යනුකූල නොවන පරිදි මෙරටට ආනයනය කළ රුපියල් අටකෝටි පනස් ලක්ෂ හැට තුන්දහස් අටසිය අසූ පහක වටිනාකමකින් යුත් චීන සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
චීන ජාතිකයකු අධ්යක්ෂ ධූරයක් දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත සමාගමක් විසින් අදාළ සිගරට් තොගය නීත්‍යනුකූල නොවන පරිදි මෙරටට ආනයනය කර ඇති බව රේගුව ප්‍රකාශ කළේ ය.
සිගරට් පන් ලක්ෂ පනස් හය දහසක ප්‍රමාණයක් නීත්‍යනුකූල නොවන පරිදි එලෙස මෙරටට ගෙන්වා ඇත.
අදාළ සිගරට් තොගයේ වටිනාකම අනුව අයවිය යුතු බදු ප්‍රමාණය හත් කෝටි පනස් ලක්ෂ හැත්තෑ නව දහස් හාරසිය පනස් පහක් වන බවත් රේගුව ප්‍රකාශ කරයි.
මේ අතර, රෙදි සෝදන දියර ලෙස නම් කර බෝතල්වල පුරවා නීත්‍යනුකුල නොවන පරිදි මෙරටට ආනයනය කළ කෝටියක වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක්ද ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.
පෞද්ගලික බඩු ගෙන්වන මුවාවෙන් මගීන් විසින් ගෙන්වන පෞද්ගලික බඩු ආනයනය කරන කන්ටේනර්වල අදාළ මත්පැන් තොගය ඉතා සූක්ෂ්ම ලෙස අහුරා මෙරටට ගෙන්වා ඇති බව ද රේගුව ප්‍රකාශ කරයි.
ඊට අමතරව කෝටි 9ක වටිනාකමකින් යුත් කෝටි 7ක පමණ බදු අය විය යුතු කොටස් කරන ලද මිට්සුබිෂි වර්ගයේ ජීප් රථ 4ක් සහ සුබාරු වර්ගයේ ජීප් රථ 2ක් සහ 250 සී.සී. කාණ්ඩයේ මෝටර් බයිසිකල් 20ක් සහ පාවිච්චි කරන ලද ටයර් 200ක පමණ සංඛ්‍යාවක් ද ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ භාණ්ඩ නීත්‍යනුකූල නොවන පරිදි වැලිවේරිය ප්‍රදේශයේ ආයතනයක් විසින් මෙරටට ආනයනය කර ඇති බව ද ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරයි.
අදාළ භාණ්ඩ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ඊයේ (මැයි 11) දින ලක්වුණු අතර අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම කිරීමට අදාළ යෝජනා ඇතුළත් විශේෂ වාර්තාවක් මේ මස 31 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවට ඉදිරිපත් කරන බව ය.




