සිසුවියන් 16 දෙනෙකුට ලිංගික අතවර කර ඒවා රූගත කළ බව කියන ගණිත විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයා කළුතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශය විසින් ඊයේ (මැයි 11) අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකාර ගණිත ගුරුවරයා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සන්තකයේ තිබූ ලැප්ටොප් යන්ත්‍රය ඔහු නිවසේ නොමැති අවස්ථාවේ පරීක්ෂා කළ ඔහුගේ බිරිය එහි කාන්තාවන්ගේ නිරුවත් සහ ලිංගික දර්ශන ඇති බව දැක ඇය එම දැරියන්ගේ මවුපියන්ව දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ බව කළුතර උතුර පොලිසියට පැමිණිලි කර තිබිණි.
පසුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කළුතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයට පවරා ඇත.
මෙම සැකකාර ටියුෂන් ගුරුවරයා පන්ති කාමර තුළදී ද පාසල් සිසුවියන්ට ලිංගික අතවර කර ඇති අතර දැරියන් නිවසට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කර ඇති බව ත් පැමිණිලිවලින් අනාවරණය වී ඇත.
එමෙන් ම එම සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් පටිගත කර ඇති බව ද විමර්ශනවලදී හෙළිවී තිබේ.
එමෙන් ම දැරියන්ට සූම් ඔස්සේ පන්ති පැවැත්වීමට ලින්ක් යවා මවුපියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇඳුම් ගලවන ලෙස උපදෙස් දී එම සිද්ධි පටිගත කර ඇති බවත් පොලිසිය සඳහන් කළේ ය.
කළුතර කොට්ඨාසයේ පොලිසියක නිලධාරියකුගේ දියණියක ද සැකකරුගේ අතවරයට ලක්ව ඇතැයි කියති.
සැකකරු පටිගත කළ දර්ශනවලට අනුව පාසල් සිසුවියන් 16 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර තව ත් දැරියන් මොහුගේ ක්‍රියාවට හසුවී ඇති බව ත් ලැජ්ජාව නිසා ඔවුන් මේ සම්බන්ධයෙන් පැමිණිලි නොකරන බවත් එම කාර්යාංශය කියයි.
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ උපදෙස් පරිදි කළුතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති දිස්නා ප්‍රියන්ති මහත්මියගේ මෙහෙය වීම මත මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු වේ.


