පස් මහල් තාවකාලික නැවතුම්පලක් අසල තිබී පාසල් සිසුවියකගේ මළ සිරුරක් පෙරේදා (මැයි 6) රාත්‍රීයේ සොයාගෙන ඇතැයි කළුතර දකුණ පොලිසිය පැවසීය.
මියගොස් ඇති සිසුවිය කළුතර, නාගොඩ රෝහල අසල පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් බවට ඇයගේ මවුපියන් හඳුනාගෙන තිබේ.
තරුණියකගේ නිරුවත් මළ සිරුරක් දුම්රිය මාර්ගය අසල වැටී තිබෙන බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය පස් මහල් ගොඩනැගිල්ල පිටුපස දුම්රිය මාර්ගයට ආසන්නයේ උඩුබැලි අතට වැටී තිබූ මළ සිරුර සොයාගෙන ඇත.
මියගොස් ඇති සිසුවිය එදින පස්වරුවේ තවත් තරුණ යුවළක් සහ තරුණයෙකු සමග කළුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබද පිහිටි තාවකාලික නවාතැන්පොළක තුන්වන මහලෙහි කාමර දෙකක් කුලියට ගෙන රැඳී සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කීය.
සිසුවිය සමග පැමිණි අනෙක් යුවළ ඇයගේ මළ සිරුර සොයාගන්නට විනාඩි 30කට පමණ පෙර නවාතැන්පොළෙන් පිටව ගොස් ඇති අතර ඇය සමග පැමිණි බව කියන තරුණයා කාමරයෙන් බැහැරව සිට ඇති බව ත්, ඔහු සොයා පරීක්ෂණ කරන බවත් පොලිසිය සඳහන් කළේ ය.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් පරීක්ෂණ කරන ලද අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණය කිරීමට නියමිතව තිබිණි.
තරුණියගේ හිස, ගෙළ, ළැම සහ කලවා ප්‍රදේශයේ සීරීම්, කැපීම් සහ තැළීම් තුවාල දැක ගැනීමට හැකිවූ බව පරීක්ෂණ සිදු කරන නිලධාරීයෙක් කීය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔවුන් සමග ලැගුම්හලට ඇතුළු වූ අනෙක් යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සමග එකට ගිය තරුණයා සොයා පරීක්ෂණ සිදු කරන බව පොලිසිය කීය.
මනුෂ්‍ය ඝාතනයක් ද? නොඑසේ නම් සියදිවි නසාගැනීමක් ද? යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව සඳහන් වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂකරුවන් විජේසිංහගේ ප්‍රධානත්වයෙන්, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.


