සොරකම් කරන ලද පරෙවියන් තිදෙනෙකු මරා පුළුස්සා ආහාරයට ගන්නා ටික්ටොක් වීඩියෝවක් සකස් කළ තරුණයන් තිදෙනෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
පොලිසිය පවසන්නේ පසුගිය 26 වන දා දර්ගා නගරයේ ඉස්තාපුල්ලා පාරේ පදිංචි පරෙවියන් ඇති කරන පුද්ගලයෙකුගේ කූඩුවක් කඩා මෙම පරෙවියන් සොරා ගෙන ඇති බව ය.
පසුව ඔවුන් එම පරෙවියන් මරා පුළුස්සා ආහාරයට ගන්නා ආකාරය ජංගම දුරකතනවලින් පටිගත කර සකස් කළ වීඩියෝවක් වට්ස්ඇප් මගින් පරෙවි අයිතිකරු වෙත යවා ඇති බවකි.
පසුව පරෙවි හිමිකරු අලුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹූ පොලිසිය ඊට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 18 සහ 20 වයස්වල තරුණයන් තිදෙනා පොලිසිය මගින් කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


