එක්දින ලෝක කුසලාන තේරීම් තරඟ සඳහා ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනෙකු කණ්ඩායමට…

මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා වන තරග වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනකුට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළුවීමට අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් භාර ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසයි. ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් හෝ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් අතුරින් දෙදෙනකුට එම අවස්ථාව හිමිවිය හැකි බව හෙතෙම පෙන්වාදෙයි.

“එය, අප පුහුණුකරු, නායකයා, උපදේශක පුහුණුකරු සමඟ සාකච්ඡා කර ගත යුතු තීරණයක්. කණ්ඩායමේ එකොළහ ඇතුළෙ කවුරු හිටියත් වගකීමෙන් ක්‍රීඩා කළ යුතුයි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන සහ පුහුණු කාර්ය මණ්ඩලය සමග එක්ව, සුදුසුකම් ලැබීමේ තරඟවලදී සාර්ථකවීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවයි.

“මම දන්නවා ක්‍රීඩකයන්ට වෙන කාටත් වඩා පීඩනය දැනෙනවා. තරග ජයග්‍රහණය කරලා, ස්වයංක්‍රීයව ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට නොහැකි වීම ගැන ඔවුන් ලැජ්ජාවට පත්වෙනවා. කෙසේවෙතත්, මෙය ඔවුන්ගේ උපරිමය ලබාදීමට ඔවුන්ව පොළඹවනු ඇතැයි මට විශ්වාසයි.” යැයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ජුනි 18 වැනිදා සිම්බාබ්වේහිදී ආරම්භ වේ. ශ්‍රී ලංකාව ඊට පෙර සූදානමක් ලෙස, ඇෆ්ගනිස්තානය සමඟ කොළඹදී තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *