නව පාසල් වාරය ආරම්භ වීමත් සමග ළමයින් අතර පාචනය වැනි රෝග තත්ත්වයක් පැතිර යාමේ අවදානමක් ඇතැයි කොළඔ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා ඊයේ (අප්‍රේල් 17) පැවසීය.
උත්සව සමයේ දරුවන් විවිධ ස්ථානවලින් විවිධ වර්ගයේ ආහාර අනුභව කිරීමත් සමග මෙම තත්ත්වය ඇති වූ බවත් සෑම වර්ෂයක ම මෙම තත්ත්වය ව්‍යාප්ත වන බවත් හෙතෙම කීය.
දරුවන්ට උණ සමග වමනය, බඩ රිදිල්ල, බඩඑළිය යාම වැනි තත්ත්වයක් ඇතිවුවහොත් පාචන තත්ත්වයක් විය හැකි බව ත් මේ පිළිබඳව මවුපියන් වැඩි අවධානයක් ලබාදිය යුතු බව ත් ඔහු සඳහන් කළේය.
එවැනි තත්ත්වයක දරුවන්ට ස්වාභාවික දියර ආහාර, පලතුරු යුෂ, තැඹිලි වතුර, බැදිහාල් කැඳ හා ජීවනී ලබා දිය හැකි බවත් වමනය සඳහා ප්‍රතිකාර ලබා නොගතහොත් දරුවන් විජලන තත්ත්වයට පත්විය හැකි බවත් ඔහු පැවසීය.
වමනය හා උණ තත්ත්වය ක්‍රමයෙන් උත්සන්න වන අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ත් එවැනි තත්ත්වයකදී හැකි ඉක්මනින් ළඟ ම පිහිටි රෝහල වෙත දරුවන් යොමු කළ යුතු බවත් ඔහු සඳහන් කළේ ය.
විජලනය තත්ත්වය අවම කර ගැනීමට මවුපියන් කටයුතු කරන්නේ නම්, දරුවන් රෝහල්ගත කිරීමේ සංඛ්‍යාව අඩු කරගත හැකි බව ද ඔහු වැඩිදුරට ත් පැවසුවේ ය.


