ඉහළ යන කොව්ඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල සූදානම පරීක්ෂා කිරීමට ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අභ්‍යාස පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අභ්‍යාස අද (අප්‍රේල් 10) සහ හෙට යන දෙදින රට පුරා ක්‍රියාත්මක කෙරෙන බව එම වාර්තා පෙන්වා දුන්නේ ය.
ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු නමුත් විශේෂඥයින් ඉල්ලා සිට ඇත්තේ, රෝගය තවදුරටත් පැතිරීම නැවැත්වීමට ප්‍රවේශම් විය යුතු බව ය.
2021 වසරේදී ඉන්දියාව මාරාන්තික කොව්ඩ් දෙවන රැල්ලකට මුහුණ දුන් අතර බොහෝ රෝහල්වල ඔක්සිජන් සහ දැඩි සත්කාර ඇඳන් නොමැති වීම හේතුවෙන් රජය විවිධ විවේචනවලට මුහුණ දුන්නේ ය.
ඊයේ (අප්‍රේල් 9) දිනයේ එරටින් කොව්ඩ් රෝගීන් 6,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබුණු අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ එදින වන විට රට තුළ සිටි සක්‍රිය රෝගීන් ගණන 35,000ක් වූ බව ය.
ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් වන XBB.1.16 හේතුවෙන් මෙලෙස කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි එම වාර්තා පෙන්වා දුන්නේ ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත්තේ, මෙම උප ප්‍රභේදය සම්බන්ධයෙන් මෙන් ම එය ඉන්දියාවේ පැතිර යන ආකාරය ගැන තම සංවිධානය අවධානයෙන් පසුවන බව ය.
කෙසේ වෙතත්, එම ප්‍රභේදය මාරාන්තික බවට හඳුනා ගෙන නොමැති බව විශේෂඥයින් ප්‍රකාශ කර ඇත.
පසු ගිය සති කිහිපය තුළ ඉන්දියාවේ නගර රැසක කොවිඩ් රෝගීන් වාර්තා වීම තියුණු ලෙස ඉහළ ගොස් තිබුණ ද ඒ හේතුවෙන් රෝහල්වලට ඇතුළත් කෙරෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.


