ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ අවධානමක්

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව ත් මෙම වසරේ ගතවූ මාස තුනහමාර තුළ පමණක් මී උණ මරණ 15ක් සිදුව ඇති බව ත් ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටිආරච්චි පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධවේදීන් දැනුවත් කිරීම සඳහා ගාල්ලේ පැවති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

එහිදී ඔහු මෙසේ ද කීය.

“මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ පමණක් මී උණ රෝගීන් එකසිය විසිහතක් වාර්තා වුණා. මෙම කාලය තුළ සිදුව ඇති මී උණ මරණ සංඛ්‍යාව පහළොවයි. එම මරණ අතර අවුරුදු දහතුනක පාසල් සිසුවියක ද වෙනවා. මේ වන විට දිස්ත්‍රික්කයේ වැඩි ම රෝගීන් වාර්තා වන්නේ කරන්දෙණිය, බද්දේගම, ඉමදූව, බලපිටිය, උඩුගම, යක්කලමුල්ල යන කොට්ඨාසවලයි.

සාමාන්‍යයෙන් කලින් මෙම රෝගය වැළඳුණේ දිනපතා කුඹුරු වැඩ කරන අයටයි. නමුත් දැන් එම අය දැනුවත් නිසා කුඹුරට බැසීමට පෙර ප්‍රතිකාර ගන්නවා. පසුගිය කාලයේ වාර්තා වූ රෝගීන් අතර ඉඳහිට කුඹුරට බැහැපු අයත්, වෙනත් කෙනෙකුගේ උදව්වට කුඹුරට බැහැපු අයත් සරුංගල් අරින්න කුඹුරට බැහැපු ළමයිනුත්, කුඹුරු හරහා වෙනත් වැඩවලට ගිය අය සිටිනවා. ඒ වගේ ම මඩ සහ ජලය ආශ්‍රිත ඉඩම්වල වගා කරන අ‍යත්, කීර කොටු වගා කරගෙන යන අයත් ඉන්නවා.

අප ඔබට කියන්නේ විශේෂයෙන් ම පාදවල සුළු හෝ තුවාලයක් තිබේ නම් කුඹුරට බහින්න එපා. මඩ සහිත වතුරට බහින්න එපා. මේ මී උණ වැළඳෙන්නේ මී මුත්‍රාවල බැක්ටීරියාවක් මගිනුයි. මෙම බැක්ටීරියාව පුද්ගලයෙකුගේ ඇඟට ඇතුළු වුණේ නැත්නම් දවස් විස්සක් එළියේ ඉන්න පුළුවනි. කුණු ගොඩවල් ආශ්‍රිතවත් මෙම බැක්ටීරියාව තිබෙන්න පුළුවන්.

එනිසා කුඹුරු වැඩ කිරීම, මඩ සහිත ඉඩම්වල වැඩ කිරීම, ඒ වගේ ම කුණු ගොඩවල් සුද්ද කිරීම ආදියෙන් පසු උණ, ඇඟපත වේදනාව, හිස කැක්කුම ආදී රෝග ලක්ෂණ තිබේ නම් වහා ම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවන්න. නිසි වේලාවට ප්‍රතිකාර ගත්තොත් රෝගය සුවකර ගැනීමට පුළුවන්. තවමත් ලංකාවේ මී උණ වැළඳෙන්නේ මී මුත්‍රාවලින් වුවත් මී හරකාගෙන් සහ බල්ලාගෙන් ද බෝ වීමට පුළුවන් බවට සොයාගෙන තිබෙනවා. එනිසා මී උණ රෝගයට නිසි වේලාවට ප්‍රතිකාර නොගත්තොත් මිය යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *