පුංචි ඡන්දය ගැන අවසන් තීරණයක් ගැනීමට කොමිසම ලබන අඟහරුවාදා රැස්වෙයි.

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්වෙයි.

කොමිසම සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා දෙන්නැයි දිගින් දිගටම කළ ඉල්ලීම්වලට බලධාරින්ගෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ද, මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව, කොමිසම සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ඉදිරි දින දෙක තුළ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ජාවක් ලැබෙනු ඇතැයි කොමිසමේ අපේක්ෂාව වී තිබේ.

අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට දින නියම කර ඇත.

මැතිවරණ සීමා නිර්ණය කමිටුව මගින් සිදු කළ පළාත් පාලන ආයතන සම්බන්ධ සීමා නිර්ණයේදී මෙතෙක් ස්ථාපිත කර තිබූ පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව (මන්ත්‍රීන් සංඛ්‍යාව) 8800 සිට 4800 කට අඩුකර ඇතැයි වාර්තා වෙයි.

මහින්ද දේශප්‍රිය ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ සීමා නිර්ණයේදී රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව මෙලෙස පළාත් පාලන ආයතන මන්ත්‍රීන් සංඛ්‍යාව අඩු කරන ලද බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධ අවසන් නිල වාර්තාව කඩිනමින් පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට භාරදීමට නියමිතය. එම වාර්තාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ පසු එහි ඇති යම් යම් දෝෂ වෙත්නම් ඒවා නිවැරදි කිරීම පිණිස සීමා නිර්ණය සමාලෝචන කමිටුවක් පත්කෙරෙනු ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *