“IMF ණය ගත්තත් වසර ගානක් තිස්සේ කඩාවැටී ඇති අධ්‍යාපනය ගැන ආණ්ඩුවට ගානක් නෑ”

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම ගැන පාරම්බාමින් සිටින නමුත් වසර ගණනක් තිස්සේ කඩාවැටී ඇති අධ්‍යාපනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමු කර නොමැති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි.

රාජ්‍ය සේවයට පිරිස් බඳවා නොගැනීමෙන් පාසල් පද්ධතිය තුළ 30,000 කට වැඩි ගුරු හිඟයක් පවතින අතර, එය පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බරපතල ලෙස බලපා ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, 2023 වර්ෂයේ පළමු පාසල් වාර නිවාඩුව අප්‍රේල් 4 වැනි ලබා දී  එම මස 17 දින නැවත පාසල් විවෘත කළත් පෙළ පොත් සහ නිළ ඇඳුම් සම්පූර්ණයෙන් පාසල් සිසුන්ට ලබා දීමේ කටයුතු මේ දක්වා  සම්පුර්ණ කර නොමැති බවයි.

“මෙවර පාසල් පෙළ පොත් ලබාදීමේදී අවශ්‍ය සම්පූර්ණ පෙළ පොත් ප්‍රමාණය මුද්‍රණය කර නැති අතර, භාවිතා කළ පෙළ පොත් සිසුන්ට නැවත ලබාදීම සිදු කෙරේ. නිළ ඇඳුම් සඳහා රෙදි චීන රජයේ ආධාර මත අවශ්‍යතාවයෙන් 75% ක් පමණ ලැබුණ ද සම්පූර්ණ නිළ ඇඳුම් අවශ්‍යතාවය ඒ මගින් සම්පූර්ණ වී නැත.”



එසේම ජනතාව දැඩි ආර්ථික අපහසුතා මත ජීවත් වන තත්වයක් තිබියදී පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන ද විධිමත්ව ක්‍රියාත්මක නොවන බව පෙන්වා දෙන ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ, තෝරාගත් පාසල් සඳහා ක්‍රියාත්මක වන පෝෂණ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මේ වන විටත් බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

මාර්තු 31 වැනි දින අධ්‍යාපන අමාත්‍යවරයා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයන් විසින් මෙම කරණු පිළිබඳව අවධාරණය කළ බව පවසන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්, අධ්‍යාපන බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටින්නේ අප්‍රේල් 17 වැනි දින පාසල් නැවත ආරම්භයට පෙර පෙළ පොත් ලබාදීම, නිළ ඇඳුම් ලබාදීම හා පෝෂණ වැඩසටහන විධිමත් කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *