විවිධ රටවල වාසය කරන පුද්ගලයන්ගේ ගිණුම්වලින් ඉතාම සූක්ෂමව අන්තර්ජාලය ඔස්සේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ චීන ජාතිකයන් 38 දෙනකු අලුත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් මොවුන් රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර තිබෙනවා.
අලුත්ගම පොලිසිය පවසන්නේ මේ වන විට ඔවුන් වංචා කර ඇති මුදල් ප්‍රමාණය කෝටි 30 ඉක්මවන බවයි.
අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක හෝටලයක කුලී පදනම මත මාස දෙකක කාලයක් තුළ රැඳෙමින් මොවුන් මෙම මුදල් වංචා කර ඇති බවයි සඳහන් වන්නේ.
අන්තර්ජාලය ඔස්සේ මෙලෙස මුදල් වංචා කිරීම සඳහා මොවුන් භාවිත කළ ලැප්ටොප් 40ක්, නවීන ජංගම දුරකථන 120ක්, තවත් පරිගණක උපාංග රැසක් අලුත්ගම පොලිසිය සිය භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයද දැනුවත් කළ පොලිසිය භාෂා පරිවර්තකයකු ද පොලිසියට කැඳවා සැකකරුවන්ගෙන් සහ සැකකාරියගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 5 දෙනකුද වන බව පොලිසිය කියයි. ජාත්‍යන්තර පොලිසිය කළ දැනුම්දීමක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
එම තොරතුරු අනුව කළුවාමෝදර සංචාරක හෝටලය වැටලූ පොලිසිය මොවුන් 38 දෙනාම බස් රථයක නංවාගෙන පොලිසියට ගෙනැවිත් ඇත. සැකකරුවන් සහ සැකකාරියන් ඊයේ (2දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
කළුතර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ උපදෙස් මත අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක කුමාර ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


