“එදා අරගලකරුවන් රැක්ක කෙනා අද උසාවි යන්නෙ හරක් කටා වෙනුවෙන්”- ඉන්දික අනුරුද්ධ

අපි පසුගිය කාලේ කතා කළා නීතිඥ සංගමයේ සභාපතිවරයා ගැන. ඔහු පැහැදිලිව ම අරගලය කරපු කණ්ඩායම් රැක්කා. අරගල කරල රට විනාශ කරපු මිනිස්සුන් එක්ක පාරට ආවා. එයා අද කා වෙනුවෙන් ද උසාවි යන්නේ. ‘හරක් කටා’ වෙනුවෙනුයි එයා උසාවි යන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ කප්පිත්තා වෙනුවෙන් ඔහු පෙනී සිටිනවා,” යැයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී ඔහු මෙසේ ද කීය.

“අද මේ වෘත්තීය සමිති ක්‍රියාත්මක වීම රටේ ආර්ථිකය ඉදිරියට යාමේදී මොනතරම් තර්ජනයක් වී තිබෙනවා ද කියලා අපි බලන්න අවශ්‍යයි. මොකද එම වෘත්තීය සමිති නිසා එම සමිති පිහිටුවා ඇති ආයතන කඩා වැටී තිබෙනවා.

වෘත්තීය සමිතියක් හදා ගන්නේ ඒ වෘත්තිකයන්ගේ සහ ඒ ආයතනවල පැවැත්ම සහ ශුභසිද්ධිය උදෙසායි. නමුත් වර්තමානයේ කටයුතු කරන බොහෝ වෘත්තීය සමිති අද කටයුතු කරන විදිහත් මාධ්‍යයට ඇවිත් ප්‍රකාශ කරන විධියත් හරි ම ලැජ්ජා සහගතයි.

සමහර වරාය වෘත්තීය සමිතිවල නායකයෝ ඇවිත් කියනවා අපි නැව් 7ක් හරවලා යැව්වා කියලා. එයාලා හරි උජාරුවෙන් මේවා කියන්නේ. වරාය කියන්නේ අපේ ආර්ථික මර්මස්ථානයක්. වෘත්තීය සමිතියකින් කරන්න ඕනේ නැව් එන එක නවත්වන එක ද? මෙයාලා හදන්නේ නැව් එක නවත්වලා ආණ්ඩුව පෙරළන්නයි.

එදා අපිට ගුරු වෘත්තියට තිබුණා අසීමිත ආදරයක්. අදට ත් අපි අපිට උගන්වපු ගුරුවරයෙක් දැක්ක ම අපි මොන තනතුරේ හිටියත් අපි දණ ගහලා වඳිනවා. ඒත් අර ගුරු වෘත්තීය සමිතියේ ඉන්න ස්ටාලින් කියන මොඩල් එක කොච්චර අපරාධයක් ද රටේ දරුවන්ට කරන්නේ. මවුපියෝ කොච්චර අමාරුවෙන් ද රටේ දරුවන්ට උගන්වන්නේ.

නමුත් අර වගේ කාලකණ්ණි අදහස් තියෙන පුද්ගලයෝ වෘත්තීය සමිති පිහිටුවාගෙන වැදගත් ගුරු වෘත්තිය කෙලෙසනවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගත්තත් එහෙමයි. ශිෂ්‍ය සංගම් කියලා අටවගෙන විශ්වවිද්‍යාල දරුවාව අවතැන් කරන තත්ත්වයක් තිබෙනවා. ඒ ළමයි ඊට පස්සේ අවුරුදු 10ක් විතර විශ්වවිද්‍යාලයේ ඉන්නවා. අපේ රටේ මොන සම්පත් තිබුණත් මේ දේවල් හරහා රජයේ ආයතනවල ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිසා මුකුත් කරන්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේක භයානක තත්ත්වයක්.

අප ලබාගන්න IMF ණය මුදල කළමනාකරණය කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණා කියන අය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේ IMF එකට යන්න එපා කියලා කිව්වා. ඒ අය දැන් කියනවා ඒ ණය බලමුකෝ කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා. ඒවා පුරෝකථන. මේ පුරෝකථන විපක්ෂයේ ඉන්න හැමෝම කළා. නමුත් ඒවා වැරදුණා.

ඡන්දෙ තියන්නෙ නැතිව IMF එක අපිට ආධාර කරන්නෙ නැහැ කියලා විපක්ෂය කිව්වා. නමුත් එහෙම වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් වුණා ඒ ජයග්‍රහණය ලබා ගන්න. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. අලි සබ්‍රි ඇමතිවරයාට ස්තුති වන්ත වෙනවා. එතුමා තමයි එදා මුදල් ඇමති. අපි සියලු දෙනාට ම වගකීම් පැවැරුණා. තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කළා අපි. ජනතාවට සහන දෙන්නයි එහෙම කළේ. විපක්ෂය මොන දේවල් කිව්වත් අපේ ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා මේවා කළමනාකරණය කරගන්නට.

හැමෝම කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැරදි ගැනයි. අපි දැක්කනේ නිව් ෆෝට්‍රස් බලාගාරය ගේන වෙලාවේ මේ කැබිනට් එක ඇතුළේ ඉඳගෙන අධිකරණයට යන්නට කැබිනට් ඇමතිවරු කටයුතු කළා. මේවා තමයි කකුලෙන් ඇදිලි. තමන් ගැන විතරක් හිතන අය මේ ආණ්ඩුවේ නැති වීම ගැන අපිට සතුටුයි. අපි වගකීම් භාර ගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වගකීම් භාරගත්තා. අපි අනවශ්‍ය වියදම් නතර කළා.

ජනාධිපතිවරයා සඳහන් කළේ ලක්ෂ 5ක් විතර වැටුපක් ගන්න කෙනෙකුගෙන් යම් බදු මුදලක් ගැනීම පිළිබඳවයි. නමුත් පාරට ගෙනාවේ කවුද? රුපියල් 50,000ක් විතර පඩිගන්න අයයි.

ජනාධිපතිවරයා අද ජාත්‍යන්තර විශ්වාසය දිනාගත්තා. ඒ විශ්වාසය දිනාගන්නවා කියන්නේ ඡන්ද තිය තියා යන එක නෙමේ. අංගවිකල ඡන්ද ක්‍රමය තියලා ආයතන විනාශ කරන්න දෙන්න බැහැ. පළාත් සභාත් ප්‍රාදේශීය සභාත් අංගවිකලයි. නිවැරදි මැතිවරණ ක්‍රමයක් ගේන්න වගකීම තියෙන්නේ මේ 225 දෙනාටයි.

නිවැරදි ක්‍රමයට මැතිවරණ තියන්න ජනාධිපතිවරයා සූදානම්. වරප්‍රසාද පස්සේ ජනාධිපතිවරයා පත් කළ මන්ත්‍රිවරු 134 දෙනා කටයුතු කළේ නැහැ. ඒ නිසා 225 දෙනාම එකට එකතු වෙලා දැන්වත් කටයුතු කළ යුතුයි.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා ගමන් බිමන් යන්නේ ජෙට්වලින්. ඔහු වෙනුවෙන් අද පෙනී සිටින්නේ නීතිඥ සංගමයේ සාලිය පීරිස්.

එතකොට එයා කොහොමද පොලිස්පතිවරයා තෝරන එකට අරයගෙ, මෙයාගෙ දූෂණ තියෙනවා කියන්නේ.

එයා ගිහින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුට පෙනී සිටිනවා. මේවා හරි ලැජ්ජයි.

මේ රටේ දේශපාලකයන්ට චෝදනා කරලා කටයුතු කරපු අයගේ නිරුවත දැන් හෙළිවෙලා.

ඒ නිසා රටේ අනාගතය ගැන සිතලා අපි කටයුතු කළ යුතුයි. මේ අය කටයුතු කරද්දි රටේ අනාගතය ගැන සිතිය යුතුයි. නීතිඥ සංගමය සිතිය යුත්තේ රට පිළිබඳවයි.

අද මුළු පාර්ලිමේන්තුව ම නීතිඥ වෘත්තිය වෙනුවෙන් එකතු වුණා.

නීතිඥ විභාගයට තම මවු භාෂාවෙන් පෙනී සිටින්න අයිතිය දෙන්න කියලා විශාල ප්‍රමාණයක් ඉල්ලීම් කළා. ඒ අනුව අද ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව එක් වුණා. ඒවාට සමහරු කතා කළේ නැහැ. නමුත් අර ජාවාරම්කාරයෝ පස්සේ ගිහින් එයාලා වෙනුවෙන් පෙනී සිටින අය නම් ඉන්නවා.

මෙවැනි අවස්ථාවාදීන් නිසා රටේ යම් අවිනිශ්චිතභාවයක් ඇති වී තිබෙනවා.

රටේ මූල්‍ය බලය පාර්ලිමේන්තුවට තිබෙද්දි මන්ත්‍රිවරයෙක් විධියට මුදල් කාරක සභාවේ ද, කෝප් එකේද ඕන තැනක ප්‍රශ්න කරන්න පුළුවන්. ඒවා මේකෙන් එළියට ගිහින් විවේචනය කරලා අවස්ථාවාදී දේශපාලනය නොකර සැමට ගැළපෙන දේශපාලනයකුයි කළ යුත්තේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *