අද (මාර්තු 21) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව සඳහන් කරමින් නිකුත් කළ නිල නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රට තුළ සිදු කරන ලද, ප්‍රියමනාප නොවන නමුත් අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණයන් මෙන් ම, රටේ ජනතාවගේ ඉවසීම හා විශ්වාසය තුළ මෙම අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වූ පසුබිම සකස් වූ බව රාජ්‍ය අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.
නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම යටතේ ණය ලබා ගැනීම සඳහා මෙරට වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් ඊයේ (මාර්තු 20) අනුමත කරන ලදී.
මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් අමෙරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.


