ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට අපේක්ෂිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දුව 21 වැනි අඟහරුවාදා උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත්, මෙම විස්තීර්ණ ණය පහසුකම ලංකාවට ලබාදීම සම්බන්ධව සාර්ථක එකඟතාවකට පැමිණීම පිළිබඳව ඔවුන්ගේ නිල නිවේදනය මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 22 වැනිදා සිට ඩොලර් බිලියන 2.9 ක් වූ මෙම IMF ණය පහසුකම වාරික 8 ක් යටතේ ලංකාවට ලැබීමට නියමිතව ඇති බවයි.
මෙම විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මාර්තු 20 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන් රාත්‍රී 10.30 ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ හමුවක් පැවැත්වීමෙන් පසු එහිදී ගත් තීරණ පිළිබඳ දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් එදිනම රාත්‍රී පැවැත්වීමට නියමිතව ඇත.
රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ එය ශ්‍රී ලංකා වේලාවෙන් 21 වැනිදා උදෑසන 8 වන විට පැවැත්වෙනු ඇති බවය. සූම් තාක්ෂණය ඔස්සේ මේ සඳහා ශ්‍රී ලංකාවටද සහභාගි වීමට අවස්ථාව ලබා දී ඇත.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකාව, ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් දැනුම් දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ ඇති කරගත් එකඟතාවන් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසිය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපති වික්‍රමසිංහ 21දා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.


