පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (මාර්තු 19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
2018 වසරේ මාර්තු 20 වන දා සිට වසර හතරක කාලයක් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වුව ද පසුගිය වසරේ පැවති තත්ත්වය හේතුවෙන් වසරක කාලයක් එහි නිල කාලය දීර්ඝ කෙරිණි.
පළාත් පාලන ආයතන නීතියට අනුව අද දිනයට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් පත්කර ගත යුතුව තිබිණි.
කෙසේ වෙතත්, ඡන්ද විමසීම එම දිනයට පෙර පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වනු ඇත.
ඒ අනුව, මහ නගර සභා 29ක බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක බලය එම ආයතනවල ලේකම්වරුන්ට ද පැවරීමට නියමිත ය.
ප්‍රමාද වී පිහිටවනු ලැබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පමණක් නිල කාලය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත.
මේ අතර, නිල කාලය අවසන් වීම හේතුවෙන් සියලු පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ මන්ත්‍රීවරුන් භාවිත කරන වාහන ඇතුළු රජයේ දේපළ යළි රජයට භාර දෙන ලෙස දැනුම් දී ඇතැයි සඳහන් වේ.
මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වන දා සිට 31 වන දා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 21 වන දා සිදුකිරීමට සැලසුම් කර තිබිණි.
කෙසේ වෙතත්, රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත්තේ, දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා සඳහා මුදල් ගෙවීම් සිදු කරන තුරු තැපැල් ඡන්ද පත්‍රිකා භාර දිය නොහැකි බව ය.
තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්වීමට නම් ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත්‍රිකා ලැබිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කර ඇත.


