ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු ම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම අවලංගු කෙරේ

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු ම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (මාර්තු 14) දින සිට වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගෙන තිබේ.

එම නිවේදනයට අනුව, දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා මාර්තු 15 දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ.ඩී.එස්. ගුණසිංහ සියලු අංශවල ප්‍රධානීන් වෙත දන්වා ඇත.

පෙබරවාරි 27 වන දා 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ඒ අනුව, 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස මෙය ප්‍රකාශයට පත්කර තිබේ.

සාමාන්‍යාධිකාරීවරයා මෙම පියවර ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමයේ වෘත්තීය සමිතිය විසින් පැය 24 ක වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ය.

එම සංගමය පවසන්නේ, අද (මාර්තු 14) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *