පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීපාල ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට තීරණයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරනු ලැබ ඇති රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (මාර්තු 14) තීරණය කර තිබේ.

එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සඳහා අභියාචනාධිකරණයේ සිටින ජ්‍යේෂ්ඨතම විනිසුරුවන් පත් කිරීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න නිවේදනය කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඔහුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පුද්ගලික පැමිණිල්ල කැඳවීමකින් තොරව බහා තබන ලෙස ද අභියාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය නොසලකා හැර සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ලේ සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබුණු අතර අදාළ සිතාසිය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව ත් එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ත් ඉල්ලමින් මෛත්‍රීපාල සිරිසේන විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *