රුපියල ශක්තිමත් වීමත් සමග මෙතෙක් සඟවාගෙන සිටි අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල් ප්‍රමාණයක් වෙළෙඳපොළට පැමිණ ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙරේදා (මාර්තු 12) පැවසීය.
ඩොලර් හුවමාරු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දුන් සමා කාලය නිවැරදිව භාවිත කළේ, නම් ඔවුන්ට එම ඩොලර් වෙනුවෙන් ඉහළ අගයක් ලබා ගැනීමට හැකියාව තිබුණේ යැයි අධිපතිවරයා අවධාරණය කළේ ය.
ශ්‍රී ලාංකිකයන් සඟවා ගෙන සිටි අමෙරිකානු ඩොලර් හුවමාරු කිරීම සඳහා මීට මාස කිහිපයකට පෙර මහ බැංකුව ලබා දුන් සමා කාලයේදී දේශීය වෙළෙඳපොළට පැමිණියේ අමෙරිකානු ඩොලර් මිලියන 30ක් වැනි මුදලක් යැයි ඔහු කීය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව පැවසුවේ “අර්බුදයක් තුළ නීතියේ කාර්යභාරය” මැයෙන් ජාතික නීති සමුළුව 2023 අමතමිනි.
අමෙරිකානු ඩොලරය රුපියල් 400 පසු කරාවි යැයි සිතා වෘත්තිකයන් සහ අපනයනකරුවන් ඩොලර් මිල දී ගෙන එම මුදල් නිවෙස්වල සහ විදේශයන්හි සඟවා ගෙන සිටි කාලයක් තිබුණේ යැයි කී හෙතෙම, උපැයීම් මූලාශ්රවත් නොසොයා දුන් සමා කාලයෙන් ඔවුන් ප්‍රයෝජනයක් නොගත්තේ යැයි චෝදනා කළේ ය.
තමන් ගත් වැරදි තීරණය ඔවුන්ට වැටහුණේ රුපියල ශක්තිමත් වීම සමග යැයි ඔහු පැවසීය.
මහ බැංකුවේ වෘත්තිකයෙකු වේවා, වාණිජ බැංකුවක වෘත්තිකයෙකු වේවා, වෛද්‍යවරයෙකු, ඉන්ජිනේරුවෙකු හෝ රජයේ ඉහළ නිලධාරියෙකු වේවා, වැටුප් මත (Payee Tax) ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
මහ බැංකු අධිපතිවරයා එලෙස ප්‍රකාශ කළේ, ‘අර්බුදයක් තුළ නීතියේ කාර්යභාරය’ මැයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ය.
එම සම්මන්ත්‍රණය අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහි පළමු දවස ඊයේ (මාර්තු 13) දින පැවැත්විණි. ඔවුන් ආදායම් බදු ගෙවන්නේ ඔවුන්ගේ ආදායම් මත බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
නීතිඥයන් වැටුප මත ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වී තිබෙන බව ද ඔවුන්ගේ වැටුප සැඟවී තිබීමත් නිශ්චිත නොවීමත් මත එය සිදු වී තිබෙන බව ද අධිපතිවරයා කීය.
විනිසුරුවරුන් වැටුප් මත ආදායම් බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ආරම්භ කර ඇති බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ වැටුප්ද නිශ්චිත වන බව ද හෙතෙම පැවසීය.
වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, බැංකු වෘත්තිකයන් වැටුප් මත ආදායම් බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් විරෝධතාවන්වල නිරත වීම දක්නට ලැබුණු බව ද බදු අය කරනු ලබන්නේ ඔවුන්ගේ ආදායම් තත්ත්වය මත බව ද මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
වෛද්‍යවරුන්, නීතිඥයන්, ඉන්ජිනේරුවන් ඇතුළු වෘත්තීයවේදීන් කළු කඩෙන් ඩොලර් මිල දී ගන්නා තත්ත්වයක් දක්නට ලැබෙන බව ත් ඉදිරියේදී විනිමය අනුපාතය තීරණය වන්නේ සැපයුම සහ ඉල්ලුම මත බව ත් ඉදිරි මාස හය ඇතුළත විනිමය අනුපාතය කෙසේ වේදැයි නොඅසන ලෙස ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරට ත් කීය.


