ගත වූ මස දෙකේ පෞද්ගලික රෝහල් 1500ක් අලුතෙන් ලියාපදිංචි වෙයි

ගත වූ මස දෙකක කාලය තුල ලියාපදිංචි කර නොතිබූ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන එක්දහස් පන්සියයක් (1500) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් සංවර්ධනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම ප්‍රකාශ කළේ පසුගිය ජනවාරි මස දහතුන්වැනි දින පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව විසින් පැවැත්වූ රුස්වීමේ දී ලියාපදිංචි නොවූ සියලු පෞද්ගලික වෛද්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කිරීමත් සමග මෙලෙස පෞද්ගලික රෝහල් අයිතිකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වීම ආරම්භ කර ඇති බවය.

එසේම පෞද්ගලික රෝහල් ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් කෝටි දෙකක පමණ මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් සංවර්ධනය කිරීමේ ඒකකයේ ගිණුම් අංශයට ලැබී ඇති බව වාර්තා වෙයි.

මේ වන විට මෙරට ලියාපදිංචි නොකළ වෛද්‍ය ආයතන දසදහසක් පමණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව පසුගියදා අනාවරණය කළේය.

2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචිය පිළිබඳ පනතෙහි නියමයන් ප්‍රකාරව මෙරට සියලු පෞද්ගලික වෛද්‍ය ආයතනවල සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි කළ යුතුය.

එසේ ලියාපදිංචි වීමට පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව විසින් පෞද්ගලික රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා කාලය ලබා දී තිබුණේ පසුගිය මස විසි අටවැනිදා තෙක් පමණයි.

එම කාලය අවසන් වී ඇති නිසා ලියාපදිංචි නොවූ පෞද්ගලික රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලට අදාළව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පෞද්ගලික රෝහල් සංවර්ධනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *