පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට අනුමැතිය ලැබෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ඒකමතිකව එකඟතාව පළකර තිබේ.

මැතිවරණ කල්දැමීම හේතුවෙන් නාමයෝජනා භාරදුන් පිරිස දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බැවින්, නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ උපදේශන කාරක සභාව අනුමැතිය ලබාදී ඇති බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අගමැති හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී පැවැති මෙම උපදේශක කාරක සභාවේදී අදාළ අනුමැතිය ලබා දී ඇත.

ක්ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ කොට්ඨාශයේ මැතිවරණයට ඉදිරිපත්වීමට ඇති බාධාවන් සහ එම බාධා ඉවත්කිරීමට අදාළ පනත් සංශෝධනය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

එමෙන්ම සේවා ව්‍යවස්ථාවේ සඳහන් පරිදි පළාත් සභා ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රමානුකූල කිරීම සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මාරුකිරීම සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනයක් අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර ඇත.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලුම පරිපාලන නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් නිසි පරිදි සිදු කළ යුතු බව ද අගමැතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *