කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.
කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීම වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර පෞද්ගලික අංශය ද නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය ස්ථාපනය කරන බව ද සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර ඇත්තේ, “කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම” පිළිබඳ ඊයේ (අගෝ. 10) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම, එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා අවශ්‍ය නම් පාර්ලිමේන්තු කමිටුවක් පත්කර ගැනීමේ හැකියාව ද පෙන්වා දී ඇත.
කෘෂිකර්මාන්තය යනු මෙරට ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් බව පවසා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය එක් අමාත්‍යාංශයකට හෝ ආයතනය කිහිපයකට පමණක් සීමා නොවන බවත් රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශයේ ද නිසි සම්බන්ධීකරණයකින් යුතුව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කළයුතු බව සඳහන් කර තිබේ.
එමෙන් ම, පැරණි ක්‍රමවේදවලින් බැහැරව වඩා සාර්ථක ප්රතිලාභ අත්කරගත හැකි අන්දමින් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
මෙතෙක් සිදු වූයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන නිකරුනේ වැය වීම පමණක් බව ත් ඉන් රටට නිසි ප්‍රතිලාභයක් හිමිව නොමැති බව ත් සඳහන් කළ ජනාධිපතිවරයා නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරි කෘෂි සැලසුම් ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාව ද පැහැදිලි කර තිබේ.
වී සහ අනෙකුත් බෝගවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් කෘෂි සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමට උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් නවයෙහි පවතින සම්පත් ඒ සඳහා භාවිතයට ගැනීමට ත්, එම සැලසුම් ක්‍රියාවට නැංවිමේ දී අදාළ අමාත්‍යාංශ, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල විශේෂඥ දැනුම ලබා ගන්නා ලෙසත් උපදෙස් දී ඇත.
ඒ ඒ කන්නවලට ගැලපෙන වී වර්ග වගා කිරීම, අදාළ බෝග සඳහා විශේෂඥතාව ඇති ආයතනවලින් දැනුම ලබා ගැනීම, ගුණාත්මක බීජ වර්ග සපයා ගැනීම වැනි කටයුතු පිළිබඳ අවධානය යොමු කළයුතු බව ත් රට පුරා පවතින ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සුළු පරිමාණ ගොවීන්ට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම ලබා දීමේ වැඩසටහනක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
එසේ ම, නවීන කෘෂි උපකරණ නිෂ්පාදනය කරන තායිලන්තය වැනි රටවල සහය ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද නිලධාරින්ට දැනුම් දී ඇත.
කෘෂි සංවර්ධන වැඩසටහන සඳහා පුද්ගලික අංශයේ ව්‍යවසායකයන් සම්බන්ධ කර ගැනීමෙන් වඩා ඉහළ ප්රතිලාභ සැලසෙනවා මෙන් ම එමගින් තිරසර කෘෂිකර්මාන්තයක් රට තුළ ගොඩනැගිය හැකි බවද පෙන්වා දී ඇති ජනාධිපති රනිල් වික්‍රමසිහ දේශගුණික විපර්යාස පිළිබඳ ඉලක්ක සපුරාගත හැකි අන්දමින් මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ත්, විධිමත් ජල කළමනාකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කමත් පැහැදිලි කර තිබේ.


