“EPF, ETF අරමුදල් විනාශ කිරීමට රජයට අයිතියක් නැහැ” අනුර කුමාර අවධාරණය කරයි

රටේ පාලකයන් සිදුකරන අසාධාරණ ක්‍රියා හේතුවෙන් ඇතිවන මහජන විරෝධතා අධිකරණ නියෝග හෝ මර්දන නීති මගින් වැළැක්විය නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය.

කොළඹ ඊයේ(31) පැවැති විරෝධතා රැළියක් අමතමින් ඔහු කියා සිටියේ වැඩකරන ජනතාවගේ මුදල් කොල්ලකෑමට රජයට අයිතියක් නොමැති බවත්, එවැනි ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයෑමට ජාතික ජන බලවේගය රජයට ඉඩ නොතබන බවත්ය.

“වතු කම්කරුවන් වගේ වැඩ කරන ජනතාවට විශ්‍රාම ගිය පසු ජීවත්වීමට තිබෙන එකම මාර්ගය EPF සහ ETF විතරයි. මේ අරමුදල් විනාශ කිරීම අයුක්තිසගහතයි වගේම අසාධාරණයි. රජය මෙවැනි ක්‍රියා වහාම නැවැත්විය යුතුයි. එවැනි ක්‍රියාමාර්ගවලට එරෙහිව අපි ජනතාව සමඟ එක්ව සටන් කරනවා. මර්දන නීති ගෙනැල්ලා, උසාවි නියෝග ලබාගෙන මහජන විරෝධතා නවත්වන්න බැහැ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු 06 දෙනකුට ඊයේ(31) දහවල් 12.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ කොටුව ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක විරෝධතා හෝ පෙළපාලිවල නිරතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබිණි.

විරෝධතාකරුවන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය අසලින් විරෝධතා පා ගමනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, ඒ හේතුවෙන් මහජනතාවට සහ රියදුරන්ට අපහසුතාවයක් ඇති විය හැකි බවත් කොටුව පොලිසිය කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *