දයාසිරිගේ පුත් නීතීඥ කවීන් ජයසේකර සොරෙකුට හසු වෙයි!

බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගේ පුත් නීතීඥ කවින් ජයසේකර ට පෙරේදා (03) සවස පුද්ගලයකු පිහියක් පෙන්වා බිය ගන්වා රුපියල් 163,000ක මුදල් හා සුදු රත්තරන් මාලයක් කොල්ලකා පලා ගොස් ඇත.

තරුණ නීතිඥවරයා මෝටර් රථය තුළ සිටියදී එම මෝටර් රථය අසලට පැමිණි පුද්ගලයකු අතපාමින් මුදල් ඉල්ලා ඇති බව පොලිසිය කියයි.

මුදල් නොමැති බව පැවසූ විට එම පුද්ගලයා විසින් ඉණේ සඟවාගෙන සිටි උල් පිහියක් අතට ගෙන එය දිගු කර මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබුණු රුපියල් 3000ක මුදලක් මුලින්ම කොල්ලකා ඇත.

අනතුරුව මෝටර් රථයේ තිබුණු බෑගයක් ද ඔහු විසින් කොල්ලකෑමට තැත් කර ඇත. ඒ තුළ තිබුණු සුදු රත්තරන් මාලයක් එළියට විසි වී ඇති බවත් අනතුරව එය ද කොල්ලකා සැකකරු පලාගොස් තිබේ.

ආරක්ෂක කැමරා මඟින් කොල්ලකරු හඳුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පොලීසිය පවසන්නේ, සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවකු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *