බොරු තර්ක ඉදිරිපත් කර අසාර්ථක නොවී රට ගොඩනගන්න, ජනතාවට සහනයක් දෙන්න එක්වන්නැයි විපක්ෂනායක ඇතුළු විපක්ෂයට විවෘත ආරාධනයක් සිදුකරන බව ජනාධිපති වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ පැවසුවේ දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ සියලු චෝදනා මේ වන විට අසත්‍ය වී ඇති බවය.
එසේම ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකර රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට තමන් ද දායක වූ බව පවසමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව උදාකර ගන්නා ලෙස ද එහිදී ජනාධිපතිවරයා විපක්ෂයට පැවසීය.
අවශ්‍ය නම් කථානායකවරයා සමඟ සාකච්ඡා කර ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ තවත් වගකීම් පවරාදීමට හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
දේශපාලනය පසෙකලා දැන්වත් මේ රට ගොඩනඟමින්, ජනතාවගේ ප්‍රශ්න විසඳීමට එක්වන ලෙස හම්බන්තොට පැවති “අමරවිරු අභිමන් 32” උපහාර උත්සවය අමතමින් ජනාධිපති වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.


