දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් ඇති නොවීම සඳහා ත් සේවක අර්ථසාධක අරමුදලට සියයට 9ක අවම පොළී අනුපාතයක් ලබා දීම සහතික කිරීම සඳහාත් වන නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසා තිබේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සේවක අර්ථසාධක අරමුදලට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර සේවක අර්ථසාධක අරමුදලට සියයට 9ක අවම පොළී අනුපාතයක් ලබා දීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා සහතික වී ඇත.
එසේ සේවක අර්ථසාධක අරමුදල සඳහා සියයට 9ක අවම පොළී අනුපාතයක් ලබා දීම ස්ථිර කිරීම සඳහා වන නීති ගෙන එන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ඉදිරි වසර තුන සඳහා සේවක අර්ථසාධක අරමුදලට සියයට 9ක අවම පොළී අනුපාතයක් ලබාදීම තහවුරු කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ අනුව, සේවක අර්ථසාධක පනත් කෙටුම්පතට සංශෝධනයක් ගෙන ඒම සඳහා කැබිනට් අනුමැතිය කඩිනමින් ලබා ගෙන එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.


