සිය පියා සමග ඔන්චිල්ලාවක් සෑදීමට උත්සාහ කළ නව හැවිරිදි දැරියක මතට නිවසේ අනාරක්ෂිත ලෙස ඉඳිකර තිබූ කොන්ක්‍රීට් කණුවක් කඩාවැටීමෙන් එම දියණිය ජීවිතක්ෂයට පත්ව පියා බරපතළ තුවාල ලබා ඇත.
මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල නෙටොල්පිටිය රන්මාළුගම්මානයේ පදිංචිව සිටි නෙටොල්පිටිය මහ විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඩබ්ලිව්.ජී.එම්.එම්. නෙවින්දි යසාරා දෙව්මිණි නම් නව හැවිරිදි දැරියක වේ.
ඇය සිය පියා සමග අද(18) පස්වරුවේ අඩක් ඉදිකළ නිවෙසේ ස්ලැබ් එක මත ඔච්චිල්ලාවක් බැඳීමට සූදානම් වීමේදී කොන්ක්‍රීට් කණුව ඇඟ මතට වැටී තිබිණි.
මාස එකහමාරකට පෙර මෙම කොන්ක්‍රීට් කණුව සාදා ඇතැයි නිවැසියෝ කියති. කොන්ක්‍රීට් කණුව සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර එයට කම්බි නොදමා ඇණ හතරක් පමණක් දමා කණුව ඉදිකර කර ඇතැයිද නිවැසියන් මේ බව දැනගෙන ඇත්තේ කණුව කඩා වැටීමෙන් පසුව බවද ඔවුහු කියති.
කෙසේවුවද කණුව කඩාවැටීමෙන් දැරියගේ හිසට බරපතළ තුවාල සිදුව තිබිණි. ඇයගේ පියා වන ඩබ්ලිව් ජී.එම්.එම්. අමිත් ප්‍රියන්තගේ වම් අතටද බරපතළ තුවාල සිදුව ඔහු තංගල්ල මූලික රෝහලේ සිට මාතර මහ රෝහලට මාරු කර යවා තිබිණි. මිය ගිය දරුවා දරුවන් පස් දෙනකුගෙන් යුතු පවුලේ බාල දරුවා වේ.
දැරියගේ මරණ පරීක්ෂණය තංගල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක එරංග ශ්‍යාමල් විසින් සිදුකරනු ලැබීය. තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


