ඌරුබොක්කේ තරුණ පාසල් ගුරුවරියක ගෙල කපා ඝාතනයට…

ඌරු බොක්ක දම්පහළ මහ විදුහලේ තරුණ ගුරුවරියක ඊයේ දහවල් ගෙළ කපා මරා දමා ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක් වූයේ විසි නව හැවිරිදි තරුණියකි. ඇය ඌරුබොකක දාඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය ඊයේ පාසල නිමවා බස් රථයකින් පැමිණ නිවස කරා පාගමනින් යද්දී ඝාතකයා ඇගේ ගෙළ තියුණු ආයුධයකින් කපා පසුව ඇගේ පපු ප්‍රදේශයට ද පිහි පහර එල්ල කර ඇතැයි කියති.

ඇගේ මර ළතෝනිය ඇසුණු ඒ අවට පිරිස ඇය ලේ පෙරාගෙන ඇද වැටී සිටි ස්ථානයට රොක්වීමත් සමග ඝාතකයා ඇය අතහැර පළා ගොස් තිබේ.

පසුව ඇය ඌරුබොක්ක රෝහලට ඇතුළත් කර ඇතත් ඇය ඒ වන විට ත් මියගොස් තිබූ බව පොලිසිය කියයි.

සිද්ධියෙන් පසු සැකකාර තරුණයා සිද්ධිය වූ ස්ථානයේ තිබූ ගසක නැග සැඟව සිටි අතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා එම ප්‍රදේශය වට කර තිබිණි.

පසුව ඔහු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.

සැකකරු මරා දැමුණු තරුණියගේ පෙම්වතා බව ද කියයි. වසර 10ක කාලයක් තිස්සේ ඇය ඔහු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ. සිද්ධිය වූ ස්ථානයට මහෙස්ත්‍රාත්වරයා ද කැඳවීමට පොලිසිය කටයුතු කර තිබිණි.

සහකාර පොලිස් අධිකාරි ලාල් චන්ද්‍රසිරිගේ උපදෙස් මත ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පල්ලියගුරු ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *