යුද හමුදා රෝහල ගිනස් වාර්තාවක් තබයි…

කොළඹ යුද හමුදා රෝහලේදී ජුනි 01 දින සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රිත ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබේ.

යුද හමුදාව සඳහන් කළේ එය ගිනස් ලෝක වාර්තා අතරට ද එක්වී ඇති බවයි.

කොළඹ යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදු කර තිබේ.

ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහයි සහාය වී ඇත.

යුද්ධ හමුදා වෛද්‍යවරුන් විසින් පසුගිය ජුනි 01 දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී ඉවත් කරන ලද මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372ක් දිගින් සහ ග්‍රෑම් 801ක් බරින් යුක්ත වේ.

ශල්‍යකර්මයෙන් පසු ඉවත් කරන ලද වකුගඩු ආශ්‍රිත ගල යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහ ශල්‍යකර්මය සිදු කළ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ (Genito Urinary Unit) ප්‍රධානි ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත පෙන්වනු ලැබීය.

ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල 2004 වසරේදී ඉන්දීයාවෙදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13ක දිගකින් යුක්තයි. බරින් වැඩිම වකුගඩු ගල 2008 වසරේදී පකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620ක් ලෙස සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *