පළාත් පාලන මැතිවරණය අලුත් කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා දැනට පවතින නාමයෝජනා අවලංගු කොට අලුතින් නාමයෝජනා කැඳවන ලෙස පාර්ලිමේන්තු උපදේශක සභාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර යෝජනා කොට තිබෙන බව වාර්තා වේ.
මෙම යෝජනාවට කමිටු රැස්වීමට සහභාගි වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබී තිබෙන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස් ජනතා සන්ධානයේ හෙලිකොප්ටරය ලකුණින් ඉදිරිපත් වීම සඳහා ගිවිසුම් අත්සන් කළ ද එය අතරමගදී තීරණය වෙනස් කොට බොහෝ දිස්ත්‍රික්කවලට තනිව ම අත ලකුණින් තරගකිරීමට නාමයෝජනා භාර දීම ද පසුගිය දා සිදුවිය.
කෙසේ වුව ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් නාමයෝජනා දී තිබුණේ හෙලිකොප්ටරය ලකුණිනි.
කොළඹ දිස්ත්‍රික්කය ද හෙලිකොප්ටරය ලකුණින් නාමයෝජනා භාරදී තිබූ අතර මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමකට හේතු වී තිබුණ බව මාධ්‍යයේ පළවිය.
දැනට පවතින නාමයෝජනා අවලංගු වී අලුතින් නාමයෝජනා කැඳවුවහොත් පක්ෂයක් ලෙස තනි තීන්දුවට ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත්විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා සිතනවා ද යන්න මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් පැවසූහ.


