මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස්රථයකට පසුගිය සිකුරාදා (26) දින සිදුවීමට ගිය විශාල අනතුරකින් එම බස් රථයෙහි ගමන් ගත් මගීන් පනහකට අධික පිරිසගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න සමත් විය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ලබාදුන් උපදෙස් මත ජූනි මස 01 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ වසරක යුද්ධ හමුදාධිපති පදවිය වෙනුවෙන් පැවති උත්සවයේදී තත් කොනොනිගේ නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති ප්රශංසනාත්මක ලාංඡනය පිළිගන්වනු ලැබීය.
බස් රථය උඩුදුම්බර ප්‍රදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා වංගුවක් හැරවීමට යාමේදී රියදුරු අසුනෙන් ඉවතට විසි වී ඇති අතර, මීටර් 50ක් පමණ දුරක් රියදුරු නොමැතිව බස් රථය ගමන් කර ඇත.
එම සිදුවීම දුටු බස් රථයේ ගමන්කරමින් සිටි යුද්ධ හමුදා සෙබල කෝප්රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න යුහුසුලුව ක්‍රියාත්මක වී රියදුරු නොමැතිව කඳුකර ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ එම රථයේ රියදුරු අසුනට ගොස් මහත් පරිශ්‍රමයක් දරා බස් රථය පාලනය කර නවත්වාගැනීමට සමත් විය.
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කෝප්රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න වෙත යුද්ධ හමුදාධිපති ප්රශංසනාත්මක ලාංඡනය පිළිගන්වමින් නිර්භීත සෙබළෙකු ලෙස සිදුකල මෙම ආදර්ශවත් ක්‍රියාව පිළිබඳව ප්‍රශංසා කරමින් ඔහුගේ අනාගතය සඳහා සුබ පැතුම් එක් කළේය.
මෙම නිර්භීත ක්‍රියාව සඳහා ඔහුව පොළඹවා ඇත්තේ යුද්ධ හමුදාව තුලින් ලද අත්දැකීම් සහ සෙබළාගේ පුහුණුව මිස අන් කිසිවක් නොවන බව ද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී වැඩි දුරයත් ප්‍රකාශ කළේය. තත් කොනොනි විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව (මාස 6), නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලාව (මාස 1), සහ මූලික ආපදා ප්‍රතිචාර පාඨමාලාව (මාස 3) හදාරා තිබීමද එහිදී කැපී පෙණිනි.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.පී.ඩී.ඩී.ආර් වීරපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී වූහ.




