ගමන් බල පත්‍ර දෙකක් සහිතව මෙරටට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කිරීමට නියෝගයක් !

ගමන් බලපත්‍ර දෙකක් සන්තකයේ තබාගනිමින් මෙරටට පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත් චීන ජාතිකයාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර තිබේ.

අදාළ චීන ජාතිකයා පසුගිය 18 වන දින රාත්‍රී ඩුබායි හි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී එම චීන ජාතිකයා සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්‍රයක් ද තිබි ඇති බව අනාවරණය වීමත් සමඟ ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබීය.

මේ අතර ආරක්ෂක අංශ භාරයේ රඳවා තබාගැනීමට පියවර ගැනීමත් සමඟ ඔහු ගුවන් තොටුපොළ තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් ඔහුව මුදාහැරීමට පියවර ගෙන තිබුණු අතර නැවත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ නියෝගයකට අනුව ඔහුව නැවත ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශයක්ද සටහන් කරගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හා විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව එම චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *