මිහින්තලා ආලෝක පූජාව හා මිහිඳු පෙරහැර සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට මහා සංඝරත්නයට අයත් පාත්‍රය රැගෙන හෙට දිනයේ සිට පිඬු සිඟා වැඩීමට කටයුතු කරන බව ඓතිහාසික මිහින්තලා රජමහ විහාරාධිපතීන් වහන්සේ පවසයි.
මිහිදු මහරහතන් වහන්සේ මෙරටට වැඩමකර වසර දෙදහස් තුන්සීය තිස් එකක් ගතවන මෙවර රාජ්‍ය පොසොන් පොහොය සැමරීම මෙරට වත්මන් නායකයින් විසින් හිතාමතාම පැහැර හැරීමට කටයුතු කර ඇති බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි .
ජනාධිපතිවරයා විසින් මූල්‍ය කළමනාකරණය සිදු කරමින් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් ලබා නොදීමට කටයුතු කර ඇති බවත් අනෙකුත් විහාරස්ථාන මෙන් මිහින්තලා විහාරස්ථානයට ද බැතිමතුන්ගේ දායකත්වය ලැබුණ ද එය ජනතාවගේ සුභ සිද්ධිය සඳහා වැයකරන බැවින් පොසොන් පොහොය සැමරීමට අවශ්‍ය මුදල් විහාරස්ථානය සතුව නැති බවත් නායක හිමියන් පවසයි .
උන්වහන්සේ මේ බව කියා සිටියේ මිහින්තලා පුද බිමෙහි දී අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය .
2018 වර්ෂයෙන් පසුව මේ දක්වා මෙවැනි සංස්කෘතික මංගල්‍යයක් සිදුකිරිම නොහැකි වූ බවත් එම හෙයින් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් බැතිමතුන් ලක්ෂ විස්සකට වැඩි පිරිසක් අනුරාධපුරයට පැමිනෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඒ සඳහා පහසුකම් සැපයීම සිදුකළ යුතුව පවතින බවද නායක හිමියන් මෙහිදී පැවසීය.
රජයේ ආර්ථික කළමනාකරණය හේතුවෙන් භික්ෂූන් වහන්සේලාගේ දානය ලබා ගැනීම සඳහා භාවිතා කළ පාත්‍රය ගෙනයමින් පොසොන් උත්සවය පැවැත්වීමට මුදල් සොයා ගැනීමට පිණ්ඩපාතයේ වැඩීමට හෙට දිනයේ සිට කටයුතු කරන බව ද නායක හිමියන් පවසයි .
එමෙන්ම මෙම පාත්‍රය භාවිතා කරනු ලැබුවේ ඉතිහාසයේ සිට භික්ෂූන් වහන්සේලා දානයන ලබාගැනීමට බවත් පසුව යහපාලන සමයේ සිල් රෙදි සොරකමකින් වැරදිකරුවන් වූ පිරිසක් නිදහස් කර ගැනීමට ඇතැම් භික්ෂුන් වහන්සේලා පාත්‍රය රැගෙන මුදල් එකතු කිරීමට කටයුතු කළ අතර හෙට දිනයේදී තමන් වහන්සේ පාත්‍රය රැගෙන පිඬුසිඟා වඩින්නේ පොසොන් මංගල්‍යය වෙනුවෙන් බවත් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති න් වහන්සේ පවසයි.
මෙහිදී එම විහාරස්ථානයේ දායක සභාවේ සාමජික උපාලි ආනන්ද මහතාද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පොසොන් මංගල්‍යය සඳහා මුදල් එකතු කිරීමට කැට රැගෙන නගර වල සංචාරය කරන බවය.


