“IMF එකඟතා අනුමත කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කරමු”ජනපති ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුමත කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි ජනාධිපතිවරයා අද (අප්‍රේල් 26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති අඩුපාඩු සාකච්ඡා කර එය විසඳා ගැනීමට හැකි බව ය.

“අපි ඔක්කොම එකතු වෙලා මේක සම්මත කරමු කියලා මං කියන්න කැමති. ඒ එක්ක ම මේකේ අඩුපාඩුකම් තියෙන ඒවා මාස 6න් 6ට IMF කණ්ඩායම එන නිසා සාකච්ඡා කරන්න පුළුවන්. සමහර වෘත්තිය සමිති බදු ගැන ප්‍රශ්න කරලා තියෙනවා. ඒවා සාකච්ඡා කරලා මාස 6න් 6ට අපි ඒක විසඳන්නට යමු.”

ඉන් අනතුරුව 2048 දක්වා වන ජාතික ප්‍රතිපත්ති රාමුවක් සෑදීමට සියලු දෙනා ම දායක වන ලෙසට වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

“2048 වෙනකන් මේ රටේ තියෙන ජාතික ප්‍රතිපත්ති රාමුව කුමක් ද? ඒ වගේ ම අපි ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන්නම් කෙටුම්පතක් විශේෂයෙන් ම පළමු අවුරුදු පහේ ප්‍රතිපත්ති සහ වැඩසටහන්. අපි ඒක සාකච්ඡා කරමු. ජාතික සභාවක් තියෙනවා. වෙනත් කාරක සභාවල් තියෙනවා. මුළු පාර්ලිමේන්තුව ම ආණ්ඩුවක් බවට පත්වෙමු. මේ වැඩ කටයුත්ත කරන්න. මේ සඳහා එකතු වෙමු. අනෙක් ප්‍රශ්න ගැන විවිධ මත තියෙන්න පුළුවන් මේකට කියන්නේ අපි හැම එක්කෙනා ම එකතු වෙලා ඒ සහයෝගය දෙන්න කියලා.

අපිට තියෙන්නේ දැන් 2048ට වෙනුවෙන් රට හදන්න. මේක නොකෙරුවොත් අපි තරුණයන්ව පාවලා දෙනවා. ඒ අයගේ අනාගතය නැති කරනවා. අන්න ඒ අය දිහා බලන්න. ඒ ගැන හිතන්න. අපේ බලය ගැන විතරක් හිතන්න එපා. අපි කාටත් ඉන්න බැරි වෙනවා තව අවුරුදු 2ක 3කින් මේ වැඩ කටයුත්ත කරේ නැත්නම්. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙන්න. මේක අනුමත කරන්න. ඊට පස්සේ අපි එකට එකතු වෙලා අවුරුදු 2048 වෙනකන් තියෙන ප්‍රතිපත්ති මාලාව සකස් කරලා ඒ වගේ ම පළමු අවරුදු පහේ ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *