2024 ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයෙක්?

ලබන වසරේ (2024) දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ජාතික එකඟතා ආණ්ඩුවක් ස්ථාපිත කිරීම ජනාධිපති වික්‍රමසිංහගේ අපේක්ෂාව වී ඇතැයි ද රවී කරුණානායක කියා සිටියි.

රවී කරුණානායක එබව කියා සිටියේ, පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මුලස්ථානයේ (JSS) අද (08) පෙරවරුවේ පැවති උත්සව සභාවක් අමතමිනි.

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමුලූ ලේකම් අජිත් දේවප්‍රිය වෙත උපහාර පිදීම සඳහා එම උත්සවය සංවිධානය කර තිබිණ.



”රාජ්‍යය අසාර්ථක වූයේ දේශපාලන නූගත්කම නිසයි” 


විනයක සහ නීතියක් නොමැතිව රටක් ගොඩනගා ජනතාව සවි බල ගැන්විය නොහැකි යැයි ද එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් නායක රවී කරුණානායක මෙහිදී අවධාරණය කර සිටියේය.

”මේ උදාවී තිබෙන්නේ රට ගොඩ ගත හැකි අවසාන අවස්ථාව” යැයි  පැවසු රවී කරුණානායක, එමනිසා ජනතාව මේ අවස්ථාවේ දී ඉතාම බුද්ධිමත්ව, වගකීම් සහගතව සහ ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු යැයි ද කියා සිටියේය.

විපක්ෂය සහ ඇතැම් වෘත්තීය සමිති මේ අවස්ථාවේ දී ක්‍රියා කරමින් සිටින්නේ රට වැනසීමට විනා රට ගොඩනගා ජනතාව ශක්තිමත් කිරීමට නොවන බවට ද රවී කරුණානායක මෙහිදී චෝදනා කළේය.

 රටක්-ජන සමාජයක් වැනසී විනාශ වීමට ප්‍රධානතම හේතුව වනුයේ දේශපාලන නුගත්කමය යන්න (Political Illiterate) ගෝලීය පිළි ගැනීම වන බව කියා සිටි රවී කරුණානායක, රට මුහුණ දෙන තීව්‍ර අර්බුදය දේශපාලන නූගත්කම යැයි ද රාජ්‍යය අසාර්ථක වූයේ දේශපාලන නූගත්කම නිසා යැයි ද අවධාරණය කර සිටියේය.

ජනාධිපති වික්‍රමසිංහ ප්‍රධාන රජය සෑම ක්ෂේත්‍රයකම ප්‍රතිසංස්කරණ සිදු කරමින් බංකොලොත් භාවයෙන් සහ රාජ්‍ය අසාර්ථකතත්වයෙන් රට බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව කියා සිටි හිටපු ඇමතිවරයා, එම නිසා මේ මොහොතේ ජනතාව කළ යුත්තේ අවස්ථාවාදී, දේශද්‍රෝහී සහ පටු අරමුණු ඇති බලවේගවලට අසු නොවී රට ගොඩනගන මෙම වැඩ පිළිවෙළට සහය වීම යැයි ද අවධාරණය කර සිටියේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *