මානව හිමිකම් කොමිෂන් සභා පනතට පටහැනිව සභාපතිනිය කටයුතු කිරීම නිසා කොමිෂන් සභාවේ තීරණ ගැනීම අසීරුවී ඇති අතර ඇය විසින් තම පෞද්ගලික අභිමතය පරිදි කොමිෂන් සභාවේ තීරණ නොසලකා හැරීම දිගින් දිගට ම සිදුවෙමින් පවතින බව, එහි කොමසාරිස්වරු තිදෙනෙකු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දැනුම් දෙනු ලැබ ඇත.
මේ පිළිබඳව දිගින් දිගට ම කරුණු ඉදිරිපත් කරන ලද අතර තීරණාත්මක සාකච්ඡාවක් 2023 මාර්තු 29 වන දා සිදුකළ නමුත් සභාපතිනියගේ මතය වන්නේ ඇයට අභිමත පරිදි ඕනෑ ම තීරණයක් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට බලය ඇති බව යැයි ද එම ලිපිය මඟින් අවධාරණය කර තිබේ.
මාර්තු 29 වන දින රැස්වූ කොමිෂන් සභාව පෙබරවාරි 28 වන දින කොමිසම විසින් යෝජනා කරන ලද කිසිදු තීරණයක් අනුමත නොකළ බව ත්, මින් ඉදිරියට කොමිසමට ඇහුන්කන්දීමට සභාපතිනිය කටයුතු නොකරන්නේ නම්, කිසිදු තීන්දුවකට අපගේ අනුමැතිය නොලැබෙන බව ත්, එහි කොමසාරිස්වරුන් වන විජිත නානායක්කාර, නිමල් කරුණාසිරි සහ පූජ්‍ය කලුපහනේ පියරතන හිමි ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මගින් ප්‍රකාශ කර ඇත.
මේ පිළිබඳව විස්තරාත්මක සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඔවුන් එම ලිපියෙන් ඉල්ලා තිබේ.
එම ලිපියේ පිටපත් අගමැති, කතානායක, අධිකරණ ඇමති, මුදල් අමාත්‍යංශයේ ලේකම්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් සහ එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (පරිපාලන හා මූල්‍ය) වෙත ද යවා ඇත.


