මේ වනවිට දින නියමයක් නොමැතිව කල් දමා ඇති පළාත් පාලන මැතිවරණයට ගිය පෙබරවාරි මාසය හමාරවන විට රුපියල් මිලියන 131 (රුපියල් කෝටි 13ක් පමණ) මැතිවරණ කොමිෂන් සභාව වැය කර තිබූ බව වාර්තා වෙයි. විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව එයින් රුපියල් මිලියන 127ක් (කෝටි 12.7ක්) මුදල් අමාත්යංශය විසින් මැතිවරණ කොමිසමට සැපයූ මුදල්ය. ඒවා ලබා දී ඇත්තේ පුනරාවර්ථන වියදම් වෙනුවෙනි.
පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා සිටි ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් මිලියන 9326 කි.
කෙසේ හෝ පළාත් පාලන ඡන්දය නියම කළ දින වකවානු අනුව පැවැත්වීමට නොහැකිවීම නිසා දැන් පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් කර ඇත. මෙයට පෙර මේ ආකාරයටම තාක්ෂණික හේතුවක් මත කල් දමන ලද පළාත් සභා මැතිවරණය දැන් වසර 5කට වැඩි කාලයක් පමා වී තිබේ. එම නිසා පළාත් සභා පාලනය කරන්නේ පළාතේ ආණ්ඩුකාරවරුන් විසිනි.


