පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ට චෝදනා කියවා දීම කොළඹ මහාධිකරණය හමුවේ අද (මාර්තු 31) සිදු කර තිබේ.
ඒ, දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී ය.
චෝදනා කියවා දීම සිදු කළ අවස්ථාවේදී බන්ධනාගාරගත කර සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
නඩුවේ අන්තර්ගත චෝදනා 23,270 අතරින් චෝදනා 13ක් අද දින විවෘත අධිකරණයේ කියවා දී ඇති අතර එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් යැයි විත්තිකරුවන් ප්‍රකාශ කර තිබේ.
ඉන් අනතුරුව වැඩිදුර චෝදනා කියවා දීම මැයි මස 24 වන දා දක්වා කල් තබා ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුෆර් මාමා, මොහොමඩ් සනස්දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.


