පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සති අන්ත පුවත්පතකට ප්‍රකාශකර ඇත.
එම සියලු ආයතන හඳුනාගෙන මේ වන විට ලැයිස්තු ගත කරමින් ඇති අතර, අදියර කිහිපයක් යටතේ ඒවා පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කරමින් සිටින බවද හෙතෙම සඳහන් කරයි.
එම රාජ්‍ය විවසාය අතර ලාභ ලබන මෙන්ම, ලාභ නොලබන ආයතන ද වේ.
රාජ්‍ය ව්‍යවසායවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට දී, ඒවායේ ඵලදායිතාව වැඩිකර ගැනීමත්, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමත්, මෙහි අරමුණ බව ද ඔහු පවසයි.
පළමු අදියර යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ශ්‍රී ලංකන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කොළඹ ග්‍රෑන්ඩ් හයාට් හෝටලය, හිල්ටන් හෝටලය, ලිට්ට්‍රෝ ලංකා සමාගම සහ ලංකා හොස්පිටල්ස් යන සමාගම්වල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ලංකා හොස්පිටල්ස් සමාගමේ කොටස් පෞද්ගලික අංශය ට පැවරීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
ඒ අනුව මෙම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම පිණිස පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ඇත.
එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටිකාලයකින් ආරම්භ කරනු ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පසුගියදා පැවසිය.


