“ත්‍රස්ත විරෝධි පනත සම්මත වීමට ඉඩ නොදිය යුතුයි”- ජෝසප් ස්ටාලින්

ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය කොන්දේසි ක්‍රියාත්මක කිරීමේදී විරෝධය දක්වන අරගලකරුවන් මර්දනය සඳහා අධිකරණ ඇමැති යෝජනා කර ඇති  “ත්‍රස්ත විරෝධී” පනත සම්මත වීමට ඉඩ නොදෙන ලෙස රටේ වෘත්තීය සමිති නායකත්වය විපක්ෂ කණ්ඩායම් වලින් ඉල්ලා සිටි.

“මේ කෙටුම්පත කෙටුම්පත් අවස්ථාවේදීම පරාජය කළ යුතුයි.”

මාර්තු 25 වැනි සෙනසුරාදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම ඉල්ලීම කළ ලංකා ගුරු සංගමයේ  ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ ජනතාවගේ කුසගිනි ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට අසමත් ආණ්ඩුව නව පනත හරහා අරගල මර්දනය කිරීමට සුදානම් වන බවයි.

2023 මාර්තු 16 වැනිදා කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසුදා ගැසට් කළ  ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඊට මාසයකට ඉහතදී ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබුනේ ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත ලෙස බව ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා එහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.

“2023.02.20 මේක ගේන පනතේ තම තමයි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත. මේකේ අරමුණම තමයි ප්‍රචණ්ඩත්වය කියලා ගෙනල්ලා ඉදිරියේ එන අරගල මර්දනය කරන්න.”

 වෘත්තීය අරගල මර්දනය කිරීමට අමතරව තවත් භයානක පැති කිහිපයක්ම පනත් කෙටුම්පතේ  ඇති බව පෙන්වා දෙන ගුරු සංගම් නායකයා අනතුරු අඟවන්නේ මාධ්‍ය මර්දනය සදහාද එය යොදා ගත හැකි බවයි.

” අපි හිතමු වෘත්තීය ක්‍රියාමාර්ගයක් කියලා. ඒ ක්‍රියාමාර්ගය ත්‍රස්තවාදයට ලඝු කරොත් අනිත් පැත්තෙන් ඒවා ප්‍රචාරය කිරීම, ඒවා උත්කර්ෂයට පත් කිරීම, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම, මාධ්‍ය වලින් ආවරණ ලබා දීම මේ ඔක්කෝටම දඩුවම් ලැබෙනවා.”

මේ දක්වා රට තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අනුව සැකකරුවෙක් මාස තුනක කාලයක් රැදවුම් නියෝග යටතේ රදවා තබා ගැනීමට නම්  ජනාධිපතිවරයා සිය අත්සන යෙදිය යුතු වුවද නව පනත හරහා එම බලය නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවරා ඇති බවද ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *