මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ත්, එසේ නොවුණහොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බව ත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, අද (මාර්තු 23) පෙරවරුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිලයේ පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවය අමතමිනි.
අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කළ මෙම උත්සවයේදී ජනාධිපතිවරයා විසින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, සිල් මාතාවන් සහ සිසු දරුවන් 40 දෙනෙකු සඳහා සංකේතවත්ව පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි ප්‍රදානය කිරීම සිදු කරනු ලැබ ඇත.
2023 වසරට අදාළ පාසැල් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර ඒ සියල්ල මේ වන විට දිවයින් පුරා බෙදා දී අවසන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
දේශීය ව්‍යාපාරිකයන් විසින් ඉතිරි නිල ඇඳුම් සපයනු ලබන අතර ඉන්දියානු ණය ආධාර යටතේ අමුද්‍රව්‍ය ලබා ගනිමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හා දේශීය සැපයුම්කරුවන් මගින් මුද්‍රණය කරන ලද පාසල් පෙළ පොත් දීප ව්‍යාප්තව බෙදා හැරීමේ කටයුතු මීට පෙර ආරම්භ කර තිබූ අතර එය නිල වශයෙන් බෙදා දීම ද මෙහිදී සිදු කර ඇත.
රජයේ පාසල්වල සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු සිසුවියන් සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් සහ පෙළ පොත් ප්‍රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.


