වැල්ලවාය ඇල්ලේ දියනෑමට ගොස් සරසවි සිසුන් සිවු දෙනෙකු අතුරුදන්

වැල්ලවාය, ඇල්ලවල ඇල්ලේ දිය නාමින් සිටි තරුණයන් සිවු දෙනෙකු ඊයේ (මාර්තු 21) දියේ ගිලී මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ, අහමඩ් ලෙබ්බේ මොහොමඩ් අන්සාල්, අබුබකර් අනාස්, මොහොම්මදු මුල්තාර් මොහොමඩ් අන්සිස් සහ මොහොමඩ් ලාසීර් මොහොමඩ් ෆන්සාල් යන සමන්තුරේ, කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශවල පදිංචි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ අවුරුදු විස්සත් විසි දෙකත් අතර වයසේ පසුවන තරුණයෝ සිවු දෙනෙකි.

මියගිය සිවු දෙනා තවත් මිතුරන් හය දෙනෙකු සමග යතුරුපැදි පහකින් පොතුවිල් ප්‍රදේශයට යන බවට පවසා නිවෙස්වලින් පිටව ගොස් ඇති අතර ඔවුන් කෙලින් ම පැමිණ ඇත්තේ වැල්ලවාය ඇල්ලවල ඇල්ල නැරඹීමට ය.

ඔවුන් දස දෙනාගෙන් කිහිප දෙනෙකු දිය නෑමට ඇල්ලට බැස ඇති අතර සිවු දෙනකු දියේ ගිලී අතුරුදන් වී ඇත.

සිද්ධිය අසල්වාසීන්ට දැනුම් දීමෙන් අනතුරුව අසල්වාසීන් විසින් ඒ බැව් වැල්ලවාය පොලිසියට දැනුම්දී ඇත.

පොලිසිය සහ ප්‍රදේශයේ කිමිඳුම් කටයුතුවල නිරත වන ගම්වාසීන් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇති තරුණයන් සිවුදෙනා ගොඩට ගැනීමට මහත් පරිශ්‍රමයක් දරා ඇතත් සවස් වනතුරු ඔවුන් සොයා ගැනීමට නොහැකිවී තිබිණි.

වැල්ලවාය ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්. ජයතිලකගේ උපදෙස් පිට වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. කරුණාතිලක සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

පසුගිය කාලසීමාව පුරා මෙම ස්ථානයේ දිය නෑමට පැමිණ දියේ ගිලී පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති අතර මෙම තරුණයින් සිවුදෙනා සමග ඇල්ලේ දිය නෑමට පැමිණ මියගිය මුළු පුද්ගලයන් ගණන 17කි.

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇල්ලේ ජලය වැඩි වී තිබී ඇති අතර වැල්ලවාය ප්‍රාදේශීය සභාව මගින් දිය නෑමට තහනම් කර අවදානම් සීමාව ලකුණු කර තිබූ කම්බි වැට ද සැඩ පහර හේතුවෙන් ගලවාගෙන ගොස් තිබී ඇත.

මෙම ඇල්ල නැරඹීමට යන අවස්ථාවේ ඒ අසල ව්‍යාපාරික කාන්තාවක මෙම ඇල්ලේ දිය නෑම අනතුරුදායක බව ත් දිය නෑමට යන්නට එපා යැයි පවසා ඇතත් එය ගණනකට නොගෙන තරුණයින් ඇල්ලට පැන ඇතැයි ගම්වාසීහු කියති.

දියේ ගිලී අතුරුදන් වූ තරුණයින් සෙයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිඳුම්කරුවන්ගේ සහය ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයි වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. කරුණාතිලක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *