පොලිස්පතිට එක් දිනෙක හෝ සේවා දිගුවක් ලබා නොදෙන්නැයි ජනාධිපතිට දැඩි බලපෑම්

මාර්තු 25 දා විශ්‍රාම යාමට නියමිත පොලිස්පති චන්දන වික්‍රමරත්නට එක් දිනකට හෝ සේවා දිගුවක් නොදෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති වික්‍රමසිංහට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව වාර්තාවේ.

අද පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී, පොලිස්පති චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට විරෝධය පළකර ඇත්තේ, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ, චින්තක මායාදුන්නේ, සනත් නිශාන්ත, සහන් ප්‍රදීප්, සංජීව එදිරිමාන්න, මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකි.

2022 මැයි 09 සිදුවූ කලහකාරී තත්වය මර්ධනය කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න කිසිදු පියවරක් නොගත් බවට මෙහිදී චෝදනා කර ඇති එම මැති ඇමතිවරුන්, අරගලකරුවන් තමන්ගේ ගෙවල් දොරවල් දේපල මුළුමනින්ම ගිනිබත් කරද්දී පොලිස්පති චන්දන වික්‍රමරත්න කිසිවක් නොකර අරගලකරුවන්ට සහය දැක්වූ බවට දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීමට එරෙහිව මතයක් ගොඩනගමින් සිටින්නේ, අරගලයට සහය දැක්වූ දේශපාලන පක්ෂ, නීතිඥ සංවිධාන හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් බව ද එම පිරිස අවධාරණය කර ඇත.

තවද වසන්ත කරන්නාගොඩ, දයා රත්නායක හා රොෂාන් ගුණතිලක කමිටු වාර්තාවෙන්ද පොලිස්පති චන්දන වික්‍රමරත්න 2022 මැයි 09 වනදා ඇතිවූ සිද්ධීන් මැඩ පැවත්වීමට උත්සහ නොගත් බවටත්, පොලිස්පතිවරයා ලෙස රාජකාරී පැහැරහැර ඇති බවටත් නිර්දේශ ලබාදී ඇතැයි ඇතැම් මන්ත්‍රීවරුන් පවසා තිබේ.

එලෙස කොමිසමකින් චෝදනා ලැබුවකුට සේවා දිගුවක් ලබා දිය නොහැකි බව මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුම අදහස වී තිබේ.

පොලිස්පති ධුරය සදහා නිර්දේශ වී ඇති දේශබන්ධු තෙන්න්කෝන් ට නඩු හා චෝදනා ගොනු වී ඇත්තේ ආණ්ඩුව ආරක්ෂාකිරීමට යාම හා කලහකාරී පිරිස් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමේදී ඔවුන් මර්ධනය කිරීමට පියවර ගත් නිසා බවත් ඇතැම් මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.

එසේ  ආණ්ඩුව හා නීතිය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වූ දේශබන්ධු තෙන්නකෝන් හට මේ අවස්ථාවේදී පොලිස්පතිධුරය නොදුනහොත්, මින් ඉදිරියට කිසිදු රාජ්‍ය සේවකයකු ආණ්ඩුව රැකගැනීමට ඉදිරිපත් නොවනු ඇති බව පෙන්වා දී ඇති එම මැති ඇමතිවරුන් පිරිස, ආණ්ඩුව රැක ගන්නා රාජ්‍ය සේවකයින්ව රැකගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන බවට වූ මතයක් ඔවුන් අතරට යාමෙන් ඉදිරියේදී ඕනෑම මොහොතක  ආණ්ඩුව බිඳ වැටීමේ අවධානමක් පවතින බවට ද අනතුරු අඟවා ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එසේ අදහස් පළකරද්දී ජනාධිපති වික්‍රමසිංහ සාවදානව ඇහුන්කන් දී සිට ඇති නමුත් කිසිවක් ප්‍රකාශකර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *