අම්මාගේ බෙහෙත් වලටයි දොස්තර හීනයටයි ගොටුකොළ මිටියෙන් සල්ලි හොයයි

“අම්මගෙ බෙහෙත් රුපියල් දොලොස්දාහක් විතර යනවා.ඒවා ගන්නෙත් මේකෙන් ගන්න සල්ලි වලින් තමයි.ගෙදරට බඩු ගේන්නෙත් ඉතිරි වෙන පොඩි ගානින් තමයි.” මෙහෙම කියන්නෙ තවමත් කටින් කිරි සුවඳවත් නොගිය සිතුම්ය.ඔහුගේ වයස තවමත් අවුරුදු දොලහ ලැබුවා පමණි. සිතුම් සිය බලාපොරොත්තු හිස මත තබා ගනිමින් ගොටුකොළ විකුණා තම පවුල ජීවත් කරනේය.
නිකවැරටිය නීරාලියද්ද මහා විද්‍යාලයේ හත්වන වසරේ ඉගැනුම ලබන ඔහු ජේ.ඒ.සිතුම් රංගන ය. සිතුම්ගේ පියා ඔවුන් කුඩා කාලයේම මිය ගොස් තිබිණි.එදා සිය පවුලේ බර කරට ගත් නොදරුවා සිය මවගේ අසනීප තත්ත්වය සුව කිරීමට මහන්සි වූයේ ය.

සිතුම්ගේ මව සුධර්මා ලාලනී ය.ඇය බරපතල රෝගි තත්ත්වයකින් පෙලෙන්නීය.
“අම්මාගේ මොළයේ නහරයක ලේ කැටියක් හිර වෙලා කියල දොස්තර මාමලා හොයාගෙන තියනවා.ඒ නිසා අම්මාට කිසිම ආකාරයකින් වැඩක් පළක් කරගන්න බැහැ.අහල පහල මාමලා නැන්දලාට හැමදාම අපට උදව් කරන්න බැහැ අපට හව්හරණක් නැ කියල.අපට සමෘධිය තිබුණත් වැඩක් නැහැ.ඒකෙන් ණයක් අරන් තියන නිසා ලොකු ගාණක් ණයට කැපෙනවා.මේ හේතුව නිසා තමයි මම ඉස්කෝලෙ ගිහින් ආපු ගමන් මගේ බයිසිකලේ අරන් සම්පත් මාමලාගේ වත්තට යන්නේ එයාලගේ ගේ පිටිපස්සෙ සරුවට වැවිල තියන ගොටුකොළ ටිකක් කඩා ගන්න.ඊට පස්සෙ කොළ මිටි බැඳල ගෙවල් වලට අරන් යනවා.කොහොම හරි ගොටුකොළ මිටි දහයක් විතර විකුණගෙන එනවා”යැයි සිතුම් පවසා සිටියේ ය.

ගොටුකොළ මිටියක් සිතුම් අලෙවි කරන්නේ රුපියල් 40ක් වැනි සුලු මුදලකටය.ඇතැමුන් සිතුම්ගෙන් ගොටුකොළ මිලදී ගන්නේ වුවමනාවටම පමණක් නොවේය.ගමේ ඇතැමුන් ගොටුකොළ රැගෙන වැඩිපුර මුදලක් ලබා දුන්හ.එම නිසා සිතුම්ලාගේ ආර්ථික ගැටලු සඳහා සුලු සහනයක් දැනෙන්නට විය.

පසුගිය දිනෙක ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් සිතුම්ලා පදිංචිව සිටි නිවසේ වහලයෙන් කොටසක් ගැලවි යන්නට විය .එදින ඔහුගේ පොත් පත් සියල්ලම පාහේ තෙත්බත් වන්නට විය.එයින් නොසැලුනු ඔහු තහඩු ගැලවී ගිය වහලයේ තහඩු නැවත එකලස් කර සකසා ගත්තේ වැඩිහිටියෙකු නොසිටි නිසාය.

“හරියටම ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ දවසෙ මම යන්න හරි ආසාවෙන් හිටියේ.ඒත් අම්මගේ ක්ලීනික් දවස එදාටමයි ඇවිත් තිබුනේ.එදා අම්මව එක්ක යන්නම වෙලා තිබුනෙ.දොස්තර මහත්තුරු කීවෙ අම්මට සැත්කමක් කරන්න පුලුවන්ද කියල එදා බලනව කියලා.ඒ නිසා මම ඉස්කෝලෙ යන්නෙ නැතුව අම්මව එක්කගෙන නිකවැරටිය ඉස්පිරිතාලෙට ගියා.එහෙදි දොස්තර මහත්තයා කීවා සැත්කමක් කරන්නම ඕනෙ.ඒත් සිහිය නැති කරල ආපහු සිහිය ගන්න බැරි වෙයි කියල.” යැයි ඔහු පැවසුවේය.ඇතැම් විට පලා විකුණාගත නොහැකිව ආපහු ගෙදර ගේන වාරද අනන්ත බව ඔහු පැවසුවේය.පලා විකිණුනේ නැති දවසට සිතුම් අතේ මුදල් නොතිබූ බව ඔහු කීවේය.අධ්‍යාපනයටද දස්කම් දක්වන සිතුම් මෙවර ගණිතය විෂයටද ලකුණු අසූවක් ලබාගෙන තිබිණ.

කවදා හෝ දොස්තර කෙනෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටින සිතුම්ට නව පාසල් වාරයේ පොත් පත් ලබා ගැනීමට පවා ඔහුන්ගේ ආර්ථිකය හරස් වී හමාරය.පාසල් යෑමට පොත් බෑගයක් හා සපත්තු කුට්ටමක් ලබා ගැනීමට සිතුම් මේ දින වල වෙහෙස වී වැඩ කරන්නේය.
(උපුටාගැනීම අරුණ පුවත්පතිනි )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *